පුස්වෙඩිල්ල උතුමාණන්ට ජයවේවා..!!!!!

අතිගරු පුස්වෙඩිල්ල උතුමානන් විසින් සංවිධානය කරන ලද ලෝක සාම සමුළුව අති සාර්ථක අන්දමින් මේ දිනවල පැවැත්වෙන් අතර ඊට විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ දෙස් විදෙස් මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඇරයුම් ලබා තියෙනවා.

Friend of the People, Servant to the Nation, Son of the Village, Brother of Freedom, Father of Democracy close relation of human rights සහ cousin of media freedom වශයෙන් ආශික්ලන්තයේ එතුමාගෙ ආදරණීය රටවැසියන් (රට වැස්සියන් නෙමෙයි මෝඩයො. රට වැසියන් ඒ කියන්නෙ කන්ට්‍රිස් පීපල්ස්)ගේ ප්‍රශ්න ගැනත් එතුමා අවධානය යොමුකරන්ඩ අමතක කලේ නෑ.

සමුළුවේ ආරම්භක අවස්ථාවෙ සිට එතුමාගේ අතිවිශිශ්ඨ බුද්ධි මහිමය,පාන්ඩිත්‍ය,විචක්ශනශීලීත්වය සහ වාග් චාතූර්‍ය පැමිණ සිටි සියළු විදේශීය නියෝජිතයන් පුදුමයටත් අමන්දානන්දයටත් පත් කල අතර අපිට හරි ආඩම්බර හිතුනා පුස්වෙඩිල්ල උතුමාණන් වැනි අති උත්කර්ශවත්,ජොලිවත් සහ තව තවත් ඒවාවත් නායකයෙක්ගේ යටත් වැසියන් වීම ගැන.

වෙස්ටන් තිංකිං මහත්තය අහන් ගොං ප්‍රස්නවලට සිරිල් නිතරමසෆරිං ලේකම්තුමාට යකා නගින එක සාධාරනයි. ඇයි අප්පා..උන්නැහෙ අහන ඉංගිරිස් වලට අපිටත් යකා නගිනකොට. ශිහ් ට්‍රාන්පෝමර් කෙනෙක් නැති එකේ අඩුව ලොකුවට පෙනුන. ඇයි වදේ සුද්දො වෙලත් මුං එකෙක්ටවත් බැහැනෙ හරියට ඉංගිරිස් කතාකරගන්ඩ. උංගෙ ඉංගිරිස් කොච්චර අප්සෙට්ද කියනවනං..සෙක්ටරි ටූ ලොක්කා’ස් සෙක්ටරි (ඒ කිව්වෙ මේ සිරිල් මහත්තයාගෙ සෙක්ටරි කොල්ලා)ට දෙපාරක්ම කලන්තෙ හැදුනා ඔන්න බොරු නෙමෙයි මං කියන්නෙ.. අහල බලන්න පුලුවන් අර හඳුන්ගේ කොල්ලාගෙන්.(හඳුන්ගේ කිව්වට දැං කව්රුවක්කත් දන්නෙ නෑ මයෙ හිතේ.හැණ්ඩි කියල නම වෙනස් කොරගෙන නිසා.)

සමුළුව අතරෙ ලොක්කා පොඩි ඉඩම් ඩීල් එකකුත් දාගත්තා. වැඩේ ගොඩ ගියොත් ඔන්න ආශික්ලන්තෙ අපිටත් මැදපෙරදිගට අයිතියක් තියෙනව. හැබැයි පලස්තීන් ඊශ්‍රායෙල් ලොක්කො දෙන්නා අපෙ ලොක්කා දුන්න ඇඩ්වයිස් විදිහට වැඩ කරොත් විතරයි.ඒ අස්සෙ සිරිල් මහත්තය අතින් වස වැරැද්දක් වෙලා.. උන්නැහැ අතින් වැරදිලා මාලදිවයින චීන්නුන්ට විකිනිලා. පුස් වහාම ඒ ඩීල් එක කැන්සල් කලා විතරක් නෙමෙයි සිරිල්ට හොඳ ගුටි පූජාවකුත් දුන්නා.

මේ අතර චමින් එයා(ර්) එක පාඩුවට දුවන එක ගැනත් එතුමා අවධානය යොමු කරා.චමින් එයා(ර්) ගරු සභාපති සාඩින් පැකින් මුදලාලි මහතා ඊට විසඳුමක් වශයෙන් ආරක්ශිත ආසන පටි සඳහා ඉතා සුළු බද්දක් අය කරන්නට යෝජනා කල අතර බද්ද ගෙවීමට අකමැති අයට කොහු ලණුවක් හෝ තම කලිසමේ බෙල්ට් එක පාවිච්චි කර සීට එකට ගැටගසාගන්නට හැකි බවද සඳහන් කලා. සුනිල් බයිලා චක්‍රවර්තී සූරීන් විසින් චමින් එයා(ර්) නව තේමා ගීතය දොරට වැඩම කල අතර එයට සභාවේ ප්‍රසාදය හිමි උනා.

අර හැම වෙලේම නාහෙන් අඬාගත්තුගමන්ම ඉන්න එක්කනා..වික්‍රම නිකම්සිංහ..(අපෝ ලොක්කා මොනවට මිනිහව ලංකරගෙන ඉන්නවද මංදා) එච්චර වැදගත් සභාවක් මැද්දෙ තමංගෙ පුටුව අර ලව්දාස් කොල්ලා හොරකං කරන්ඩ හදනව කියල පෙරලි පෙරලි අඬන්න පටන් ගත්තා. චික් ලැජ්ජාවෙ බෑ.අර ඇවිත් හිටිය පොරින් කට්ටිය මොනව හිතුවද දන්නෙ නෑ. අන්තිමට නලව ගත්තෙ ලොක්කාගෙ පුටුවෙ පොඩි සයිස් එකක් තෑගි කරල. ලව්දාස්ව ගෙන්නල පයිල් එකක් පෙන්නල දෙකයි කිව්වෙ ලව්දාස් පොරොන්දු උනා කට පියාගෙන ඉන්ඩ. නිකම්සිංහ මහත්තයට නූලකින්වත් හිංසා කරන්නෙ නෑය,ඒ පුටුවට තියෙන ආසාව වගේම පුස්වෙඩිල්ල ලොක්කාගෙ පුටුවට තියෙන ආසාවත් අත අරිනව කියල විරහ ගීතයකුත් කියලයි ගියෙ.

පා.ම. බංකී පුස්වෙඩිල්ල සංවිධානය කරන P.C.C (Puswedilla Cricket Club) ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පින්ලන්තය, අයිස්ලන්තය,බලුකිස්තානය ඇතුළු රටවල් කීපයක සහභාගීත්වයෙන් පවත්වන්නට සූදානම් කරල තියෙනව. පාකිස්තානය,ඉන්දියාව, දකුනු අප්‍රිකාව වගේ රටවල් මේකට සහභාගී කරගන්නෙ නැහැල්ලු. හොඳවැඩේ..ආශික්ලන්තයට මුං දිනන්ඩ චාන්ස් එකක් දෙන්නෙම නෑනෙ.

අතිගරු චමින්ද පුස්වෙඩිල්ල උතුමානන් වගේ ජාතිය අමතන්ඩ නිකම්සිංහට නිකමටවත් බැරිය කියල මුළු ලෝකෙටම පෙන්නා දෙමින් සමුළුව ඉතාමත් සාර්තකව නිම උනා.මේක ලියපු මමත් ඊලඟට තිබුන පලවෙනිම චමින් එයා(ර්)යානයෙන් මෙහාට ආව මේ විස්තරේ ඔයාලට කියන්ඩම ඕන නිසා.
ඇත්ත වශයෙන්ම පුස්වෙඩිල්ල කියන්නෙ අපට ආඩම්බරයක්. අපට ආඩම්බරකාර පියාණන් කෙනෙක්, ලොකු තාත්තෙක්,බාප්පෙක්..(ඉහි ඉහී)
එතුමාගේ චරිතාපදානයේ සංශිප්තය පහත වීඩියෝවෙන් නරඹන්න.
අතිගරු පුස්වෙඩිල්ල උතුමානන්ට ජයවේවා!

Eye of the Tiger –

ආයුබෝවන් හැමදෙනාටම. ලියන්න කියන්න මේ දවස්වල වැඩි වෙලාවක් නැහැ. මේ track / video එක හුඟ දෙනෙක් ලඟ ඇති. ඒ නමුත් upload කරන්න හිතුව.කරවටක් වැඩ වල එරිලා moral down වුන වෙලාවට motivate වෙන්න මම අහන්න කැමතිම track එකක් මේක. රසවිඳින්න හැකි අය රස විඳින්න. අනික් අය නිකන් ඉන්න. :)

Don’t lose your grip on the dreams of the past. You must fight just to keep them alive!

IN da CLUB..

මනමාළ කුරුල්ලන් ජේත්තුවට ඇඳ,යාප්පුවෙන් පෙම් බස් දොඩවාගෙන
ජාති ජාති රිය පිට පටවාගෙන හීන ලොවක් මවතෙයි ..
තෙතෙයි තෙයි ආදර බස් දොඩතෙයි..
සරුංගල් වගේ..ඈත අහසේ..
කිරි කිරි බෝලේ,රැළි මාලේ..
කොයින්ද මෙතරම් පැටික්කියන් යස..
අන්ද මන්ද වී යයි..
සියොළඟ දවනා අමුතු ගින්දරින්
සිත මුසපත් වී යයි..
එකිනෙක ගැටෙනා..වීදුරු නටනා..
ඇස්දෙක බමණා..හිස කරැකෙන්නා..
බෝම එලි මැද..හාද කම් බිඳ
රැයක් ගෙවී එලි වෙයි..
ගෑව වත්සුණු..පෑව සුකොමල
සැබෑ සපුව පෙනෙතෙයි..
තෙතෙයි තෙයි අබිනික්මන සිහිවෙයි..

I Dreamed a Dream…http://www.youtube.com/watch?v=RxPZh4AnWyk

http://www.youtube.com/watch?v=RxPZh4AnWyk

සමහරවිට ඔබ මෙය කලින් නරඹා ඇති. මොහොතක් සිතන්න..අපි සමහර අයට හිනාවෙනව..මතු පිටින් ඒ අයව දැකලා. ඒත් ඒ යටින් කොයිතරම් ආත්ම විශ්වාසයක් සහ හැකියාවක් ඇතිද කියලා අපි මොහොතකටවත් හිතනවද?

I Dreamed A Dream..ඔබෙ සිහිනය ඔබත් දකින්න….සිහින සැබෑවේ…!

කොළඹින් දුර බැහැර නුවර පළාතෙ ඉපදිලා..දුක් මහන්සියෙන් යමක් ඉගෙනගෙන 2001 වසරෙ මං කොළඹ එන්නෙ නීතිඥ වෘත්තියට පිවිසෙන්න ඇති ආශාවෙන්. CFPS ආයතනයට බැඳිලා නීති විද්‍යාල ප්‍රවෙශ පන්ති යන ගමන් අම්මාට පින් සිද්ද වෙන්න පිළිගැණීමේ නිළධාරිණියක් වශයෙන් මට පුංචි රස්සාවක් හොයාගෙන පිළිවන් වෙනවා. පඩිය සොච්චමක් උනත් මම කැමැත්තෙන් අළුත් රස්සාවට යන්නෙ ජීවිතය කොතැනින් හෝ පටන් ගන්න ඕන නිසා.
ආයතනය නම් එතරම් සතුටුදායක නැහැ. සේවකයන්ට හොඳින් සලකන්නෙත් නැහැ. මට නතර වෙන්න කියලා හරි හමන් තැනක් තිබුනෙත් නැහැ.හුඟක් දුක් වින්දා. හරි කෑමක් බීමක් නැතුව,බස් වල එල්ලීගෙන..සමහර දිනවල පයින් යන්නත් සිද්ද වුනා.
මාස කීපයකට පස්සෙ මම තවත් ආයතනයකට බැඳෙනව..නීතිඥ සමාගමක්. එතනත් පිළිගැණීමේ නිළධාරීණියක් ලෙස. පුංචිකාලෙ ආසාවකුත් තිබුනා ඒ තනතුරට. වෙන රැකියාවල් ගැන මටත් ඒ තරම් ආශාවක් වත් අවබෝධයක්වත් තිබුණෙත් නැහැ. නීති සමාගමට බැඳෙන්න බලපාපු ප්‍රධාන හේතුව නීති ප්‍රවේශය හදාරන නිසා මම හිතුවා එතනිනුත් යමක් මට ඉගෙන ගන්නට පුළුවන් කියා.
මේ ආයතනයෙ හිටිය “වෙන්ඩ හයි ෆයි” නොහොත් “Wannabe..” ගැහැණු ළමයි දෙන්නෙක්. එක්කෙනෙක් නීතීඥවරියක් අනිත් කෙනා සමාගම් ලේකම් වරියක්. මොකක්දෝ හේතුවකට මේ දෙන්නා මුල ඉඳන්ම මට හුඟක් අරියාදු කලා. සමහර විට මම “Gody” කෙල්ලෙක් වෙච්ච නිසා වෙන්න ඇති. කොහොමත් මං වැඩි පෙනුමකුත් නෑනෙ.එක දවසක් නීතිඥ ගෑනු ළමයා කිව්වා මගෙ මූණ වඳුරු මූනක් වගේ කියලා. (එහෙම කියපු කෙනා ඊට අවුරුදු කීපයකට පස්සෙ ඒ කටින්ම කිව්වා “You look so pretty..” කියල..lol)
ඒ වසරෙම මම නීති ප්‍රවේශයට පෙනී සිටියා. ප්‍රතිඵල එනකොට කඩඉම් ලකුණු දෙකකින් අසමත් වෙලා. ආයිමත් විභාගය ගන්න හිත හදාගත්තා. මේ වෙද්දි මගෙ තත්වය යහපත්. හොඳ නවාතැනක් සහ සමාජ ආශ්‍රයකුත් මට ලැබෙමින් තිබුනා. රැකියාවෙනුත් ටිකක් විතර හොඳ පඩියක් ඒ වෙද්දි ලැබෙනව. ඔහොම ඉන්නකොට කොළඹ ප්‍රධාන ආර්ථික මද්‍යස්ථානයකට කාර්යාලය ගෙනියන්න පාළණාධිකාරිය තීරණය කරනවා. මේ වෙනකොට තවත් තරුණ නීතිඥවරියක් ආයතනයට බැඳී හිටියා. ඈ ඉතාමත් අහංකාර වගේම නපුරු සහ ආත්මාර්ථකාමී තැනැත්තියක්.කොහේ ගියත් මට මිනිස්සුන්ගෙන් සහ ගැහැණුන්ගෙන් වන මදිපුංචිකම් වල නම් අඩුපාඩුවක් තිබුනෙ නැහැ.
ඇයත් මා අර කළින් කියූ තරුණියන් දෙදෙනාත් තමයි අළුත් කාර්‍යාලයට ගෙවැදීමේ උත්සවය සංවිධානය කලේ. මටත් ලොකු ආශාවක් තිබුණා ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්න. ඒ උනත් ඒ අය අයිති “Posh” සමාජයට මාව ගැලපුනෙ නැද්ද මංදා. :) මේ සියළු දෙය අතරේ ආයතන ප්‍රධානියා දවසක් මට කතා කලා. මගෙන් ඇහැව්වා මගේ රැකියාව වෙනස් කරන්න කැමතිද කියලා. වටින් ගොඩින් මට තේරුම් ගියා මේ කියන්නෙ පරණ තැනට මාව ගැලපුණාට අළුත් තැන Reception එකට මාව ගැලපෙන්නෙ නැහැ කියන එක කියලා. හුඟක් හිත් වේදනාවක් ඇති වුනා මට.අළුත් Designation කිව්වාට එතන එහෙම දෙන්න Designations නැහැ. මට වෙන්නෙ ෆයිල් සෙවීම..ෆයිල් කිරීම වගේ දේවල්.
කිසිම කෙනෙක් දැනගෙන හිටියෙ නෑ මගේ පෞර්ශය සහ මගේ හැකියාවන්. ඒ දේවල් මතු කරලා පෙන්නන්න මට අවස්ථාවක් පැමිණුනේත් නැහැ.හැමෝම දුටුවෙ අර ගොඩෙ වඳුරු මූණ පමණයි. අළුත් කාර්‍යාලයට ගියාට පස්සෙ මට වෙන කෙණෙහිළිකම් තවත් වැඩි උනා. ඒ වෙද්දි නීති වෘත්තිය ගැන මගෙ කිසිම පැහැදීමක් තිබුනෙ නෑ.ඒ වෙනකොට මගේ අවධානය මාණව සම්පත් කළමණාකරණය යන අපූරු මාතෘකාව වෙත ඇදී යන්නට පටන් ගෙන තිබුනා.

මතු සම්බන්ධයි..

බාලොලි ලොලි..බාලොලි ලොලි..

බාලොලි ලොලි..බාලොලි ලොලි..
මගෙ රන් කිරි කැටියෝ..
නිදාගන්න හිරු ඇහැරෙන තුරු..
මගෙ රන් කිරි කැටියෝ..

අම්මා නුඹේ දුරක ගියේ..
කිරි එරවා එන්ට නොවේ..
ගඟ හඬවා නිහඬ රැයේ..
නුඹෙ අම්මා..කොයිබ ගියේ..?

අතට වෙරළු ඇහිඳ ගෙනේ..
ඉනට පළා..නෙලාගෙනේ..
බරටම දර කඩාගෙනේ..
ඒ අම්මා නැත එන්නේ…

මේ අපෙ අයියා කෙනෙක්….

මේ සිද්ධිය උනේ මගේ අයිතිකාරයා හෙවත් හස්බන්ඩ්ගෙ කාර්යාලයේ සේවය කරපු පියන් මහත්තයෙකුට.මේ පියන් මහත්තයට මංගල යෝජනාවක් ඇවිත් තියෙනව. ගැහැණු ළමයා ටිකක් පිටිසර. ඒ උනත් කෙල්ල ලස්සන නිසා මිනිහා උඩින්ම කැමති වෙලා.
පොරොන්දම් එහෙමත් බලලා මංගල්ලෙ තීන්දු කරලා නැකැත් හදලා මංගල්ලෙට දිනත් නියම කරලා, දැන් ඔන්න මංගල්ලෙ දවසෙ පෝරුවෙ චාරිත්‍ර ඉවර වෙලා ජෝඩුව අමුත්තන්ට කතා කරනවලු.(ඒ කිව්වෙ වඳිනවාලු. මඟුල් දවසෙ මනමාල ජෝඩුවට එපාම කරපු වැඩේ හතර අතට නැමි නැමී වැඳිල්ල තමයි.කොන්ද කැඩෙනව අප්පා..)
මේ වෙලාව වෙනකොට අපේ කතානායකයාත් මඳ පමණින්ලු. ආපු අමුත්තන් අතරෙ තරුණයො පස් දෙනෙක් විතර හිටියලු. දැන් මනමාලියි මනමාල මහත්තයයි මේ තරුණයන්ට කතා කරනව. මනමාලි කියනව..”මේ අපෙ අයියා කෙනෙක්”එතකොට මනමාල මහත්තයා “අයියෙ..” කියල හතරට පහට නැමිලා වඳිනවලු.ඔහොම ගිහින් “අයියලා” කීප දෙනෙකුටම ජෝඩුව වැන්දාලු. අයියලා කිව්වට මොකද මේ කට්ටිය සෑහෙන්න තරුණ පාටලු.
මංගල්ලෙන් කාලෙකට පස්සෙ තමයි මිනිහට තේරුම් ගිහින් තියෙන්නෙ මනමාලිට අයියලා උනාට මෙයාට වඩා ඒ කොල්ලො ටික අවුරුදු කීපයක්ම බාලයි කියල. මොකද අපේ කතානායකයා ඒ වෙන්කොට වයස අවු: හතළිහකට විතර කිට්ටු “තරුණයෙක්” මනමාලිට වයස අවු: විසි ගනනක්.

“බාල වයස්කාර දැරියක් තිස් දෙනෙකු අතින් අතවරයට පත් වෙයි… ” පුවතක්.

කමල සොඳුරු නිලුපුල් රතු
හොරු අරගෙන ගියාදෝ..
සියුමැලි සියොළඟ පොඩිකල
මාර සෙනඟ කොහේදෝ..
මුහුණු වසා ගත් කල උන්
කල පව් කඳ වැහේදෝ..
උන් පොඩි කල කැකුල වසා
රකින කෙනෙක් සිටීදෝ..

කෝටි තිස් තුනක දෙවි කැල
දූ කෙලියට ගියාදෝ..
දුකට බලන්නට ඈ දුන්
පින් කඳ මදි උනාදෝ..
සදාචාරයේ අනුහස්
බලයෙන් මෙය උනාදෝ..
දහම් දිවයිනේ උතුමන්
සාදුකාර නගාදෝ..

විමුක්තියට පාර කියන
මැතිණිවරුන් කොහේදෝ..
නිවන් පුරට අප ගෙන යන
හිමිවරු කොහි ගියාදෝ..
සඟිස්කෘතිය රකින කෝටියක්
මහතුන් ඇඳේදෝ..
මෙසඳ සදිසි දියනි වරුන්
කොයි ලෙසකින් රැකේදෝ…