කැමතිම පොතකින්…

මට පැහැදිළිව දැන් ඔහු දැකිය හැක. බීමත් කපිතාන්වරයා,ඔහු වැනිම ඔහුගේ නිලධාරීන් ද, ලොකු උඩු රැවුළක් සහිත පසෙක වූ නැව් හිමියාද නරක වයින්වල ප්‍රතිඵලය නිසාදැක්වූ අශිෂ්ඨ අභිනයන්ද මට දැක ගත හැකි විය. මෘග හිනාවකින් අපේ නැව් ගමන පිලිබඳව ඔහු නැවත නැවත කියන්නට විය.  ‘මේ අහගනිල්ලා,උන් කොටියෝ,දැන් මේ වෙලාවෙ උන් බෝට්ටුවෙම ඇති, උඹට උන්ව දැක ගන්න වෙන්නෙ මුහුදෙන් පිටතදියි.’  කපිතාන්වරයා මේ අන්දමේ හෝ මීට සමාන වාක්‍ය කෑලි කියමින් සිය සගයන්ට රහස හෙළි කලේය.

ඇත්ත වශයෙන්ම මේ කිසිවක් නොදැන සිටි අප මෙයට පැයකට පමණ පෙර ටොන් ගණනක් වූ සුවඳ හමන මෙලන් අතර සම්පූර්නයෙන්ම වැසී, සුවපහසුව,තැන්පත්ව ඔහේ පාවී ආවෙමු. එවැනි විශාල ආරක්‍ෂිත ස්ථානයෙහි බෝට්ටුවට ගොඩ වී සැඟවී සිටීමට උදව් කළ අපට නරකක් කරන්නට සිටි මිනිසුන් සමඟ නාවිකයන් පිළිබඳව කතා කරමින් සිටියෙමු. අපට කෝපයෙන් කෑ ගසන හඬක් ඇසිණ. කොහෙන්දෝ මතු වූ ලොකු රැවුළක් අප වෙත බිහිසුනු අන්දමින් කඩා පනින්නට සොයනවා අප දුටිමු. හොඳින් පොතු අරින ලද මෙලන් පොතු එකක් පිටුපස එකක් ලෙස ශාන්ත මුහුදේ දිග පේළියකට පාවී ගියේය.

‘මම මිනිහව සුවඳෙන් ඈත් කරලා තිබ්බ කොල්ලනේ,ඒත් මිනිහා දැක්ක මෙලන් පොතු. මිනිහා කිව්වා හැම මල්ලකටම ගහල එකෙකුටවත් බේරිල යන්න දෙන්න එපා කියල.’

ඔහු හිටියේ තරමක් අමාරුවේ වැටීය.

      ‘උඹලට තිබුනෙ ඔච්චර මෙලන් නොකා ඉන්න’

 සැන් ඇන්ටෝනියෝවල සිට පැමිණ අප සමඟ ගමන් ගත් ගමන් සගයෙක් ඔහුගේ උසස් ජීවන දර්ශනයට අනුව යමින් අපට එක් කුඩා වාක්‍ය  කණ්ඩයක් ඉදිරිපත් කළේය.

     ‘ඔය මෝඩ වැඩේ අතැරලා උඹලගෙ බූරුවන්ගෙ පිටෙන් බැහැලා උඹලගෙ බූරු   රටටම පලයල්ල.’

අපි කළ දේ වැඩි හෝ අඩු වන්නට ඇත. අපි අපේ ගමන් මළු රැගෙන චුකියිකමාටා ප්‍රසිද්ධ තඹ පතල් බලා පිටත් වීමු.

නමුත් අපි කෙලින්ම එහි නොගියෙමු. එක් දිනක් නැවතී එයට ඇතුල් වීමට පතල් අධිකාරීන්ගෙන් අවසරයක් ලැබෙන තුරු බලා සිටින කාලය ඇතුළතදී අපට බේබදු සේලරුවන්ගෙන් වෙන්වීමේ සාදයක් ලැබිණ.

 පතල් බිම් කරා යන කටුක මාර්ගයේ ලාම්පු කණු දෙකක සෙවණේ වැතිර එක කණුවක සිට අනෙක් කණුවට විටින් විට යම් යම් දේ කෑ ගසා කියමින් දවසේ බොහෝ වේලාවක් ගත කරමින් සිටුයදී ඈත ක්‍ෂිතිජයෙන් ට්‍රක් රථයක සටහන් අප දෙසට ඇදෙමින් පැමිණෙනු දුටුවෙමු. එම කුඩා ට්‍රක් රථය අපගේ ගමනෙන් භාගයක් වන බැකියුඩානෝ නගරය වෙත අපව රැගෙන යන ලදී.

කොමියුනිස්ට්වරුන් වන විවාහක චිලී කම්කරු යුවළක් එහිදී අප සමග මිත්‍ර විය. තනි ඉටිපන්දමක් අපට ලබා දුන් එළියෙන් පාන් කෑල්ලක් සමඟ චීස් කමින් අපි එක්ව මාටේ බිව්වෙමු. මිනිසාගේ හැකිළුණු රූපය ගෙන ආවේ ගුඪ ශෝකාන්විත බවකි. පැහැදිළි චාම්

 තියුණු හඬින් ඔහු ඔහුගේ සිරගත වූ තුන් මාසය පිළිබඳව තොරතුරු විස්තර කළේය. ආදර්ශමත් භක්තිමත් බවකින් ඔහුගේ හාමත් වූ බිරිඳ ඔහු අසලම සිටි අතර දරුවන්ගේ ආරක්‍ෂාව කාරුණික අසල්වැසියෙකු වෙත ඔවුන් තබා තිබිණ. රැකියාවක් සොයා යාම ඵල රහිත වන්දනාවක් වූවා මෙන්ම ඔහුගේ සගයන් අභිරහස් ලෙස අතුරුදන්ව තිබිණ. මුහුදු පතුලේ කොතනක හෝ ඔවුන් ඇතැයි ඔහු පැවසීය.

හුදකලා වූ රාත්‍රියේ යුවළ සීතලෙන් එකිනෙකාට තුරුළුව සිටියේ ලෝකයේ ඕනෑම තැනක නිර්ධන පංතික කම් කරුවන්ගේ ස්වභාවය පෙන්නුම් කරමිනි. ඔවුන් දෙදෙනාට පොරවා ගැනීම සඳහාකසිකබල් වූ හෝ බ්ලැන්කෙට්ටුවක් නොවූයෙන් අපේ එක් බ්ලැන්කෙට්ටුවක් ඔවුනට දී ඇල්බර්ටෝත් මාත් අපට හැකි පමණින් එක බ්ලැන්කෙට්ටුවක් තුළට ගුලිවීමු. එය මගේ ජීවිතයේ සීතලම රාත්‍රිය වූ නමුත් මනුෂ්‍ය වර්ගයා පිළිබඳ සහෝදරාත්මක හැඟීම් මා ඉදිරියේ එයට වඩා වැඩි විය.

 පසුදා උදේ අටට චුකියිකමාටා නගරය වෙත අපව ගෙන යන ට්‍රක් රථයක් සොයා ගත හැකි විය. උතුරේ ගෙන්දගම් පතල් දෙසට යන ඒ යුවළගෙන් අපි සමුගතිමු. ගෙන්දගම් පතල් තිබූ කඳුකරයේ දේශගුණික තත්වය ඉතා නරක වූ අතර ජීවන තත්වයද දුෂ්කර වූ හෙයින් වැඩ බලපත්‍රයක් වුවමනා නොවූ අතර කිසිවෙකු ඔවුනගෙන් දේශපාළනය පිළිබඳ ඇසුවේද නැත. මෙහිදී උනන්දු විය යුතු එකම දෙය කම්කරුවාගේ සෞඛ්‍යය විනාශ කර ගනිමින් සොයා ගනු ලබන ස්වල්පයක් වූ කුඩා ගෙන්දගම් කැබලි යාන්තම් ජීවත්වීම සඳහා ලබා දෙන දෙය සඳහා පමණී.

ඒ යුවළ ඡායා මාත්‍රයක් සේ අපෙන් වෙන්ව නොපෙනීයන දුරකට ගියද අපට තවමත් ඒ මිනිසාගේ පුදුමාකාර අදධිෂ්ඨානශීලී මුහුණත් ඔහු කෙළින්ම අපට කළ ආරාධනාවත් සිහියට නැංවේ.

‘එන්න සහෝදරයා අපි එකටම කමු. මමත් ඉබාගාතේ යන්නෙක්.’

මේ වචන යටින් ඉරි ඇඳ අපට පෙන්නුම් කළේ පරපුටුවන් සේ අරමුණකින් තොරව අප මේ කරන සංචාරය පිළිබඳව අවඥාවයි.

මෙවැනි මිනිසුන් මැඬ පැවැත්වීම ඉතා කනගාටුදායකය. සාමූහිකත්වයෙන් ඈත්ව කොමියුනිස්ට්වාදයේ පණුවා වැදගත් ජීවිතයට තර්ජනයකි. ඔහුගේ බඩවැල් තුළ දඟලන කොමියුනිස්ට්වාදය ස්වභාවිකව උපදින ආශාවන් හැර අනෙකක් නොසිතයි. නිරන්තර බඩගින්නට එරෙහි සටන බවට පෙරළී ඇති මේ අමුතු මතයට ආදරය කරන්නට පටන් ගනී. එහි සාරය අවබෝධ කර නොගෙන එය පරිවර්තනය කරනු ලබන්නේ ‘දුප්පතුන් සඳහා පාන්’ යන්නටය. වඩා වැදගත් වන්නේ එය ඔවුන් බලාපොරොත්තුවලින් පුරවාලීමය.

එහිදී ප්‍රධානියාගේ පියකරු කාර්‍යක්ෂම උද්ද්ච්ච කළමනාකාරවරු අශෝභන ස්පාඤඤ භාෂාවෙන් අපට පැවසුවේ,”මේක සංචාරක නගරයක් නෙවෙයි. මම ඔබලාට මාර්ගෝපදේශකයෙක්ව පැය බාගයක කාළයකට දෙන්නම් යන්ත්‍ර සූත්‍ර සවිකර ඇති වට පිටාව  බලන්න. ඉන් පස්සේ අපිට කරන උදව්වක් විදිහට අපට පාඩුවෙ ඉන්න දීලා යන්න. අපට කරන්න වැඩ හුඟක් තියෙනවා.” වැඩ වර්ජනයක් වහා ආසන්නයේ විය. නමුත් යැංකි ප්‍රධානියාගේ ව්ශ්වාසවන්ත බල්ලෙකු වන මාර්ගෝපදේශකයා අපට පැවසුවේ “මේ මෝඩ තකතීරුවො හැම දවසකටම පෙසෝ දාහක් නැති කරනව වර්ජනය කරලා.ඒක හින්ද දුප්පත් කම්කරුවන්ට වැඩිපුර ගෙවන්න වෙන්නෙ නෑ. මගෙ ජෙනරල් ඉබානේස් බලයට ආවහම ඔක්කොම ඉවර වෙයි.” කවියෙකු වූ වැඩ ප්‍රධානියා පැවසුවේ”මේ හැම අඟලකින්ම හොඳම තඹ හොයා ගන්න පුළුවන් ප්‍රසිද්ධ ඉල්ලමක්. ඔබ වැනිම බොහෝ මිනිසුන් මගෙන් අහන්නෙ කාර්මික ප්‍රශ්න. ජීවිත කීයක් මේවා වටිනවද කියල අහන්නෝ විරළයි. මට ඔබට උත්තර දෙන්න බැහැ දොස්තර මහත්වරුනේ. ඒත් ඇහුවට ස්තූතියි.”

 සීතල වන නිපුණත්වය,බලයක් නැති අමනාපය විශාල පතුල පුරාඑකිනෙකාගෙන් එකිනෙකාට බැඳුණේ ජීවත්වීම සඳහා අවශ්‍ය මූලික සාමාන්‍ය දේ පවා නොසලකා හැරීම නිසා වූ බද්ධ වෛරයෙනි. එක දිනයක අපට බලාගත හැකි වන්නේ කවුරුන් හෝ පතල්කරුවෙක් සචේතනික සතුටකින් විස වැදදවුණු පෙණහළුවලින් නැගී සිටිනවා ඇත යන්නය. ඔවුන් පවසන්නේ එවැන්නක් වන්නේ ලෝකය දීප්තිමත් කරමින් පැමිණෙන රතු එළියෙන් බවය. ඔවුන් එසේ කියති. මම නොදනිමි.

 

උපුටාගැනීම : මර්ලින් සුනේත්‍රා චන්ද්‍රරත්න විසින් පරිවර්තිත අර්නස්ටෝ චේ ගුවෙරා යතුරුපැදි දිනපොත දකුනු ඇමෙරිකා චාරිකා සටහන් කෘතියෙනි.

 

Advertisements