ඇවිල්ල ඇවිල්ලා…..

 

 

තවත් එක මාසයක් නොදැනීම ගෙවී ගිහින්. හැම ගහක් කොලක් ගානෙම මල් පිපිලා ඵල බර වෙලා, වසන්තයට වඩින්න පාර කියනවා. කොහේදෝ ඉඳගෙන කොහෙක් ‘කුහූ කුහූ’ ගාන්නෙ  එරබදු මල්වලට ‘දැන් හැංගිලා හිටියා ඇති,එළියට එන්න..’ කියන්නා වාගේ. ඉඳ හිටලා වහින වැස්ස, බක් මහ අකුණු එක්කලා කඩා වැටෙන අනෝරා වැස්සට පෙරහුරුවක්වත්ද?

ඉස්සර වගේ රබං සුරල් මැද්දෙ නෙවෙයි කප්පරක් තරම් වන FM රේඩියෝ වල කණ පැලෙන්න දාලා තියෙන සිංදු බිංදු මැද්දෑවෙ මේ පාරත් සිංහළ අවුරුද්ද වඩිනවා. අප්‍රේල් නිවාඩුව එනකල් පුංචි එවුන් ඇඟිළි ගනිනව ඇති ඉස්සර අපි ඉස්කෝලෙ ගිය කාලෙ වගේ. අළුත් ඇඳුම් ඇඳලා උජාරුවට රවුමක් යන්න, කැවුම් කොකිස් පිරුනු පිඟන් අරං අහල පහල ගෙවල්වලට යන්න තවමත් මතකයි ඒ කාලෙ අපි ආසාවෙන් බලං හිටිය හැටි. අන්තිමට දවස ඉවර වෙනකොට පුංචි බඩ ගෙඩි පිරිලා.. හුස්ම ගන්න බැරි තරමට. ආදරේට හැම ගෙදරකින්ම මොනව හරි කඩචෝරුවක් එක්ක රසම රස බීම වීදුරුවක් ලැබෙනවනෙ…එපා කියන්න නම් දිව නැමෙන්නෙ නැහැ කීයටවත්. අපේ ගෙදර පහළ හිටිය ලංසි පවුලක්..(තාමත් ඉන්නව) එයාලා හරි කැමතියි සිංහල කෑම වලට. ඉතිං හැමදාම ලොකුම අවුරුදු පිඟාන අපේ ගෙදරින් යැවෙන්නෙ එයලාට. තවම එහෙමයි. තාම මතකයි  Uncle Debond හදල දෙන බීම එක. එයා  Chef කෙනෙක් නිසා රහට එක එක ජාතියෙ කෑම බීම හදන්න එයාට පුළුවන්. හැබැයි දැන් නම් ගියාම ලැබෙන්නෙ පැණි රහ සෝඩා වතුර වීදුරුවක්. ආ තව දෙමළ පවුලක් හිටියා, ඒ පවුලෙ වයසක ආච්චි කෙනෙක් හිටිය. අපි කිව්වෙ පේත්‍යා ආච්චි කියල. එයා සල්ලි දාලා තියෙන කළු පාට පෙට්ටිය ඇරෙන්නෙ සිංහළ අවුරුද්දට විතරමයි. අපිට රතිඤඤ ගන්න සල්ලි දෙන්න. අප්පච්චිගෙයි, ලොකු අප්පච්චිගෙයි ළඟම යාළුවෙක් හිටියා Haneefa Uncle, නොවැරදීම අපේ ගෙදර සිංහල අවුරුද්දට එයාට දවල් කෑම. හරිම සුන්දරයි. මතක් වෙද්දි ඒ කාළය ආපහු  එනවා නම්..! කියලා හිතෙනව.

 ඔය මම කිව්වේ මීට අවු. 15 කට විතර කළින් අවුරුදු ගැන. දැන් කාළය හරිම වෙනස්නෙ. කොංක්‍රීට් වනාන්තරයෙ අවුරුදු සිරි තියෙන්නේ කඩ සාප්පු ඇතුලෙ විතරයි. අවුරුද්ද මතක් කරන්නෙ තිස්සෙ දෙවේලෙ කතා පෙට්ටියේ සහ රූප පෙට්ටියෙ මෙලෝ සිහියක් නැතුව යන වෙළඳ දැන්වීම්. කඩ පිල් ගානෙ Sinhala and Tamil New Year Sale කියල එල්ලලා, වේලි වේලි තියෙන පරණ බඩු මුට්ටු ටිකක් හොඳ ගාණකට විකුනගන්නවා. ඒවා ඇතුළට රිංගලා, පොර කකා ජීවිතේ පළවෙනි වතාවට වගේ පුළුවන් හැම කුණු කන්දලක්ම අපිත් අරගන්නව.දැං ඉස්සර වගේ පිටි කොටාගෙන, හලාගෙන මහන්සිවෙන්න ඕන නෑ. ජාති ජාති කැවුම් කොකිස් පැකට් කරලා තියෙනව.ඕන යහමින් සල්ලි ටිකක් විතරයි. ඇත්තෝ ගති, කති බොති. හංදියක් හංදියක් ගානෙ රතිඤඤා ලෑලි. අද එක ලෑල්ලක්  ඇරියොත් හෙට ඔන්න ඊට ටිකක් එහායින් තවත් එකක් ඇරලා.

කොහොම හරි අම්ම අප්පච්චිලාට තෑගිත් අරං අතිං කටිං මළුත් උස්සගෙන පෝළිමේ වේළි වේළි ඉඳලා (කෝච්චියේ යනවනම් නොමිලේ හොඳ Massage එකක් අරං) ගෙදර ගියා කියමුකො. ඊට පස්සෙන්දා දවසම මහන්සියට නිදි. අම්මා කෑ ගහල කෑ ගහල නැගිට්ටවල නොනගතය ලබන්න කළියෙං ගෙවල් වලට ගිහින් එන්න කියද්දී ‘කෙහෙල් මල් කෑම පිඟන්..ඔය මිනිස්සු අද විතරයැ කන්නෙ..’  කියල හිතෙනව. ඉතිං යන්න කියන හැම ගෙදරකටම ගිහිං ටිකක් සාමීචියෙ යෙදිල (සතුටු කියන වචනෙ ඉවත් කලේ හිතලමයි.) බඳින්නෙ නැද්ද සහ කොළඹ කොහොමද? රස්සාව, පඩිය වගේ කථා බහකින් පස්සෙ යාංතං ගේ ඇතුළට රිංග ගන්නව.

කොහොමිං කොහොම හරි අවුරුදු දවස් දෙක තුන ගෙවිල යනව, ඊට පස්සෙ ආයෙමත් පුරුදු විදිහට කාළය ගෙවිල යනව.  වර්තමානයේ අපි අපේ අවුරුද්ද  සමරන ආකාරය ගැන විවේචනය කරන්න බැහැ. අපි මේ දුවන්නෙ රේස් එකක්. ඒ රේස් එක දුවන අතරෙම අපේ දෑ මේ තරමින් හරි අරං යන එකත් ලොකු දෙයක්නෙ. ඒ උනත් හිතට දුක, මේකට ආරෝපණය වෙලා තියෙන වාණිජත්වය ගැන. හුඟක් කොම්පැනිවලට සිංහළකම හා මේ ශ්‍රී ලංකාව කියල මතක් වෙන්නෙ අප්‍රේල් මාසෙට විතරයි.

ශ්‍රී ලාංකික සිංහළ අපට විනෝද වෙන්න සතුටු වෙන්න තියෙන උත්සව අතේ ඇඟිලි ගණනටත් අඩුයි. ඒ නිසා මේ උත්සව සමයෙ ඇති තරං විනෝද වෙන්න. හැබැයි, මේ සටහන කියවන අයියලා මල්ලිලාට බොහෝම ආදරයෙන් මං කියන්නෙ, රතිඤඤා සමග ගණු දෙණු හරිම පරිස්සමින් කරන්න. ගිණි කෙළිය අන්තිමට මල කෙළියක් වෙයි නැත්නම්. රහමෙර සමග ගණු දෙණු නොකරන තරමටම හොඳයි. එහෙනම්.. අපිට සුභ පතන්න අළුතින්ම උගන්නලා තියෙන ක්‍රමයට හැමෝටම සුභ පතලා මේ සටහන අවසන් කරන්නම්.

 

                 ‘සුභ අළුත් අවුරුද්දක් වීවා…!’

 

 

 

 

 

 

 

 

 

 

 

Advertisements