මං කැමතිම පොතකින්… II

ගමේ සිට රතු දෙණිය දක්වා කිලෝ මීටර් හයක් පමණ දුර හෙමින් කරත්තය දැක් වූ ෂුකාර් සීයා සැප සේ කිරාවැටෙන්නට විය. අන්තිමේදී තද අව්වේ බලපැවැත්ම නිසා ඔහුට කොතරම් හොඳට නින්ද ගියේද කියතොත් ඔහු කීප වරක්ම කරත්තයෙන් වැටෙන්නට ගියේය.කල්පනාවෙන් නොගියොත් කරත්තයෙන් වැටිල බෙල්ල කඩා ගන්න වෙනවා යයි තැති ගෙන කල්පණා කල ඔහු අන්තිමේදී දෙණියට ඇතුල් විය.

දෙණියේ පතුළ දෑකත්තක පහස නොලත් සුවඳ හමන තණ පඳුරින් වැසිණි. කිසියම් උස් තැනක සිට වැටෙන දිය පාරක් දෙණිය මැදින් ගලා බසියි. එහි විනිවිද පෙනෙන පැහැපත් ජලය කොතරම් හීතලද යත් අශ්වයින් පවා ඒ ජලය ඉතා සෙමින් බීවේ දත් අතරින් උරා ගමිනී. ගස්වල අතුපතරින් සෙවණ වූ දොළ ඉවුරට මහ දවල් වුවද අව්ව නොවැටෙයි. මෙතැන නිඳා ගන්න කියාපු තැන ය යි සීයා අශ්වයින් ලිහා දමන අතර කල්පනා කළේය. දුවන්නට නොහැකි වන ලෙස අශ්වයින්ගේ කකුල් ගැට ගසා තණ කන්නට මුදා හැරිය සීයා පඳුරක් යට කබාය එළා උඩු බැලි අතට දිග ඇදී, මහලු විය නිසා මළානික වූ නිල්පාට දෑසින් තද අව්වෙන් සුදුමැළි වී අහස දෙස බලා ලෞකික දේවල් කෙරෙහි සිත යොමු කළේය. 

අද හවස් වන තුරු ඉදිකටුවකින් ඇනල වත් මේ වගේ සැපවත් තැනකින් මාව නැගිට්ටවන්න බැහැ. මම හොඳ නින්දක් නිදාගෙන,මගේ වයසට ගිය ඇටකටු අව්වෙන් රත් කරගෙන,ඊට පස්සෙ දුබ්ත්සොව් බලන්න ගිහින්, හොඳ තලප පිඟානක් කනව. ගෙදරින් කාල එන්න වෙලාවක් ලැබුනෙ නැහැ කිව්වම මට බඩ කට පිරෙන්න කන්න දේවි.ඒ ගොල්ල දියාරුවට හදන්නෙ නැහැ.මුට්ටියෙ අඩිය හූරගෙන කන්නෙ නැහැ. දුබ්ත්සොව් බඩ පණුවො මර මරා කුඹුරු වැඩ කරන මිනිහෙක් නොවෙයි. මූණෙ බිබිළි දාපු ඔය නාකි තක්කඩිය මස් නැතුව එක වේලක්වත් කන්නෙ නැහැ. කාගෙන් හරි බැටළුවෙක් හොරෙන් මරා ගෙන විත් එයාගෙ ම්ඉනිස්සුන්ට කන්න දෙනව..රෑ කෑමට මට රාත්තල් හතරක ව්තර හොඳ මස් කුට්ටියක් තියෙනව නම් නරක නැහැ.හොඳ තෙල් කෑල්ලක් දාල රෝස් කරල නම් වැඩියත් හොඳයි.බැටළු මස් නැතුව බේකන් එක්ක බිත්තර කන්න තියෙනව නම් ඒත් කමක් නැහැ; හැබැයි ගොඩක් තියෙන්න ඕනෑ.. ඊලඟට ඇඹුල් කිරි යොදෙත් එක්ක පුඩින් තියෙනව නම් දිව්‍ය භෝජනයක් වගෙයි.සක්‍රමේන්තුවට වැඩිය හොඳයි, පිඟානකට පුඩිං ගොඩගහල,ඒ උඩින් යොදය වක් කරල,යොදය පතුළට බහින්න පිඟාන හොඳට හොළවන්න ඕනෑ. එතකොට උඩ ඉඳල යටට පුඩිංවල හොඳට යොදය ගෑවෙනව. ඊට වැඩියෙ හොඳයි, පුඩිං ගැඹුරු භාජනයක දාල භාජනය පිරෙන්න යොදය දමනව නම්.එතකොට හැන්දෙන් හොඳට යොදය කලවම් කර ගෙන පුඩිම කන්න පුළුවනි.

ෂුකාර් සීයා බඩජහරියෙක් නොවෙයි. ඔහුට ඇත්තේ දැඩි කුසගින්නක් පමණි. ඔහුගේ දිළිඳු ජීවිතයේ දී ඔහු කිසිදාක බඩ කට පිරෙන්නට හොඳ ආහර වේලක් කාලා නැත.ඔහු ප්‍රිය කල ඉතාම රසවත් ආහර වර්ගවලින් බඩ කට පුරවා ගෙන ඇත්තේ සිහිනෙන් පමණි. හොඳට රසට ගුනට පිසින ලද බැටළු බොකු ඇතැම් විට ඔහු සිහිනෙන් කයි.ඇතැම් ව්ට විශාල වෙල්ල වැහුමක් ගෙන රෝල් කොට,යොදය තුළට ඔබා,පොඟා,උඩ බලා කට ඇර කටට දමා ගනියි. පාත්ත පිගුදු සහිත නූඩ්ල්ස් සුප් උණු උණුවේ ගිල දමයි…කුසගින්නෙන් සිටින මිනිසාට රාත්‍රිය ඉතා දිගය. එවැනි දිග රාත්‍රිවලදී ඔහු හීනෙන් අනුභව කරන ලද ආහාර මෙතෙකැයි කිව නොහැක.එවැනි හීනයකින් පසු ඔහු අවදි වන්නේ බලවත් ශෝකයකිනි. නැතිනම් කෝපයකිනි.හිස් බඩට කොතරම් හීන පේනවදයි ඔහු තමාටම කිය ගනියි.ජීවිතය බොරුවකි,මුළාවකි. හීනෙන් රසවත් නූඩ්ල්ස් පිඟානක් කෙලවරක් නැතිව කයි. එහෙත් නින්දෙන් අවදි වූ පසු මහලු බිරිඳ කන්න දෙන්නේ වතුරත් සමග කළු පාන් පමණි. අමතරව ලූණු ගෙඩියක්ද දෙයි.ඒ ජරාව කන්න පුළුවන් කාටද?පඳුර යට උඩුබැලි අතට වැතිර සිටි ෂුකාර් සීයා තමාට වාඩියෙහිදී කුමණ ආහාරයක් ලැබේදැයි බොහෝ වේලාවක් ගත වන තුරු හිස් අහස දෙස බලා ගෙන කල්පනා කෙළේය.අනතුරුව ඔහු යාකව් ලුකීච්ගේ අම්මාගේ මළගම දින දානයේදී ලැබුණු රසවත් ආහාර පාන ගැන මෙනෙහි කෙළේය.මෙසේ වරක් ගන්න ලද ආහාර පාන ගැන කල්පනා කොට විඩා වැටුනු මහල්ලාට හිටි හැටියේම කොතරම් දෙඩි කුසගින්නක් ඇති වූයේද කියතොත් විජ්ජා බලයකින් මෙන් ඔහුගේ නිදිමත අතුරුදහන් විය.කෝපයෙන් කෙළ ගැසූ සීයා රැවුළ අතගා අනතුරුව පිටට ඇළුනු බඩ අතගා බැළුවේය.”පාන් කෑල්ලයි ඇඹුල් කිරි කෝප්පයයි;මේවා වැඩ කරන නිෂ්පාදයකුට සුදුසු ආහාරයක්ද?”යි ඔහු කෑගා කීවේය. “ඊට වැඩිය හොඳයි හුළං බොනව.පැයකට කලින් මගේ බ්අඩ අහිකුණ්ටිකයකුගෙ රබානක් වගේ තදට තිබුණ.දැන් කොහොමද? පිට කොන්දට ඇලිල. උඩ ඉන්න දෙයියො බලන්න ඕනැ. අපි මුළු ජීවිතයම ගත කරන්නෙ බඩට ගෝස්තරයක් හොයා ගන්න හැටි ගැන කල්පණා කරමින්. ඇඟිලි අතරින් වතුර ගලා බහිනව වගේ අපේ ජීවිතය ගෙවී යනව.කොතරම් ඉක්මනට ජීවිතය කෙළවර වෙනවද දන්නෙ නැහැ..පහු ගිය වතාවෙ මේ දෙණියට ඇවිදින් දැන් කොච්චර කල් වෙනවද?එදා එන කොට හැම තැනම මල් පිපිල. මුළු දෙණියම සුදු මල් රේණුවලින් වැහිල.හුළං හමාපු හැටියෙම කුණාටුවකට අහුවෙච්ච හිම වගේ සුදු මල් රේණු හුළඟේ කැරකි කැරකි ගසාගෙන යනව. දෙණිය මැදින් වැටී ඇති පාරෙ සුදු පාවඩයක් දැම්ම වගෙයි. ගෑණියකගෙ පියරු ගාපු මූණට වඩා සුවඳයි.නමුත් දැන් ඒ මල් පරවෙල ගිහින්. අන්තර්දාන වෙලා.අන්න ඒ වගේ තමයි කිසිම වැදගැම්මකට නැති මගේ මහළු ජීවිතය ව්නාශ වෙලා යන්නේ..වැඩි කාලයක් යන්න කලින් අසරණ ෂුකාර් සීයට මැරෙන්න වෙනව..”

මේ අවස්ථාවේදී ෂුකාර් සීයාගේ දර්ශනාත්මක භාව ගීතයක් වැනි කල්පනාව අවසන් විය. තමා ගැන ඇති වූ අනුකම්පාවෙන් ඔහු ටික වේලාවක් ඇඬුවේය. හොටු හූරා දැම්මේය.රතු වූ ඇස් කමිස අතින් පිසදැම්මේය. අනතුරුව අඩ නින්දට වැටුණේය. ශෝකජනක සිතිවිලි සමඟ ඔහුට හැම විටම නිදිමත ඇති වෙයි. 

නින්ද යනවාත් සමගම ඔහුගේ ගති ගුණවලට එකඟව ඔහු තෘප්තියෙන් සිනාසුණේය.සොම්නසින් ඇස් කරකවා බලා නින්ද නමැති මීදුම්පටලය තුළින් කල්පණා කරන්නට විය.අද දුබ්ත්සොව්ගේ වාඩියේ කෑමට අළුත් බැටළු මස් තියෙන්න ඕනෑ. ඒ බව මගේ ඇටවලට දැනෙනවා.මට එකපාර මස් රාත්තල් හතරක් කන්න බැහැ. වැඩියි. රාත්තල් හතරක් කන්න පුළුවන් කිව්වෙ කල්පණා කරල නොවෙයි.අදහස් ප්‍රකාශ කරන්න ඉක්මන් උනා වැඩියි.රාත්තල් තුන හමාරක් නම් වැඩි නැහැ. ඇස් පිය ගහන්නෙ නැතිව කන්න පුළුවනි.මස් මේසයට ඇරල තිබුණොත් වරදින්නෙ නැහැ.ඒක කොහොම හරි සීයගෙ කටට යනව. ඒ ගැන සැක කරන්න දෙයක් නැහැ. 

හවස තුන වන විට ඌෂ්ණය මුදුණටම නැග්ගේය. නැගෙනහිර සිට නැග ආ වියළි උණුසුම් සුළඟක් දෙණිය තුළින් හමන්නට විය.කලින් පැවැති සිසිල් සුවය පළවා හරිමින් දැඩි ග්‍රීෂ්මයක් ඇති විය. බටහිරට ගමන් ගත් හිරු මඬ්ල, කොට්ටයක් මෙන් නමන ලද කබායට මූණ ඔබා ගෙන නිදා සිටි ෂුකාර් සීයා පසුපසින් ලුහු බඳින්නාක් මෙන් විය. සීයා සොයාගෙන් පැමිණි හිරු රැස් ඔහුගේ කඩමාල්ලක් වැනි කමිසය විණිවිද ගොස් වෑරුනු පිටට අනින්නට විය. එවිට අඩ නින්දේ පසුවන සීයා අමාරුවෙන් බිම පෙරලෙමින් සෙවන යටට රිංගයි. එහෙත් ඉන් අධෛර්‍ය නොවනහිරු ටික වේලාවකට පසුව ආයෙත් මහල්ලාගේ පිට දවන්නට පටන් ගනියි.එවිට මහල්ලා සෙවන ඇති වෙනත් තැනකට පෙරළෙයි. පැය තුනකදී ඔහු, එතරම් විශාල නොවූ එම පදුර වටේ අඩක් පමණ දුර නින්දෙන් පෙරළුණේය. අන්තිමේදී ඌෂ්ණයෙන් විඩාපත් සීයා ඉහින් කනින් දඩිය පෙරා ගෙන,තඩිස්සි වී මුහිණින් යුතුව නැගිට, බිම හිඳ, අතින් ඇස් ආවරනය කොට ඉර දෙස බැළුවේය. අන්න තියෙනවදෙයියන්ගෙ ඇහැ.ස්වාමි දරුවානන් වහන්සේ මට සමා වෙන්න ඕනෑ.පඳුරක් යට හැංගිල හිටියත් කවදාවත් ඔය ඇහෙන් බේරිල්ලක් ලැබෙන්නෙ නැහැ. අද මුළු හවසම මම හාවකු වගේ පඳුර වටේ පෙරළුනා.ඒකට නින්ද කියන්න පුළුවන්ද?

ඒක නින්දක් නෙවෙයි මහ දඬුවමක්.මට තිබුනෙ කරත්තය යට නිඳා ගන්නයි. කොතැන නිදා ගත්තත් දෙයියන්ගෙ ඇහින් බේරෙන්න බැහැ.ඉන්න තැන හොයාගෙන එනව.ස්ටෙප්ස් තණ බිමේදි හැම තිස්සෙම ඔහොම තමයි. 

ගොරවන්නටත් සුසුම් හෙලන්නටත් පටන් ගත් ෂුකාර් සීයා සම්පූර්ණයෙන්ම කබල් වූ පාවහන් හෙමිහිට ගලවා දැම්මේය.අනතුරුව ලළිසම් කකුල් නමා ගත් ඔහුතමමගේ හීන් කකුල් දෙස බොහෝ වේලාවක් මුවට නගා ගත් විවේචනාත්මක සිනාවකින් යුතුව බලා සිට ශෝකයෙන් හිස වවනුවේය.අනතුරුව ඩහදියෙන් තෙත් වූ ඇඟපත හා මූණ සීතල ජලයෙන් සෝදා ගැනීම පිණිස දොළ දෙසට ගියේය. 

එහිදී ඔහුට ඉතා අවාසනාවන්ත සිදුවීම් රාශියකට මූණ පාන්නට සිදු විය. 

මතු සම්බන්දයි.  

 

උපුටා ගැනීම: සිරිල් සී පෙරෙරා විසින් පෙරළූ නැවුම් පස නමින් අනුවර්තිත, මිහයි ෂෝලහොව් විසින් රචිත the Virgin Soil Upturned කෘතියෙනි.

Advertisements

4 thoughts on “මං කැමතිම පොතකින්… II

  1. ecH says:

    ආයෙ කවර කතාද? මමත් කියවපු හොඳම් පොත් වලින් එකක් තමයි මේ. පුළුවන් නම් කට්ටියට හිනා වෙන්නත් එක්ක දාන්න අර ෂුකාර් සීය අස්සයෙක් මිලට අරන් විඳපු දුක ගැන.

    • rathutharuva says:

      දසුන්, මේ පොතේ කොටස් දෙකම කොච්චර සැරයක් කියෙව්වත් කවදාවත් එපා වෙන්නෙ නැහැ.
      ecH, ස්තූතියි මතක් කලාට. මට ඒ කොටස ගැන අමතකම වෙලයි තිබුනෙ.

  2. dasun says:

    මමත් බොහෝම ආසාවෙන් කියවපු පොතක්.
    මේ සිද්ධි පෙල මට දැන් මැවිලා පෙනෙනවා.
    ස්තුතියි සහෝදරයා මට ඒ සිද්ධිපෙල මතක් කලාට.

  3. Thilanka says:

    ඊයෙ මේ පොත පොත් රාක්කෙ තිබිණ අහම්බෙන් දැකල සම්පූර්ණයෙන්ම කියෙව්ව.. මුල ඉඳන් අගටම හිනා උනා.. නියම පොතක් තමා.. හොඳම පොත් වලින් එකක්..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s