කොයින්ද මේ තරම්?

water

ගලන්න මේ තරම් හැඩට

ගඟට කොයින්දෝ දියවර ..?

හමන්න මේ තරම් සැඩට

කොයින්ද මේ සුළං පවර..?

වහින්න මේ තරම් බරට

අහසට දිය බිඳු කොයින්ද..?

පිපෙන්න මේ තරම් හැඩට

එක යායට මල් කොයින්ද..?

මවු බිම වෙනුවෙන් දන් දුන් සිය පුතු වෙනුවෙන් වැළපෙන

මවුනගෙ කඳුලිණුයි සබඳ මේ ගඟ හැදුනේ..

ජීවන අත්වැල ගිළිහී පැටව් සමග තනිවී ගිය

සෙබළ බිරියකගෙ  සුසුමිනි සුළඟ සැදෙන්නේ..

සිහිනෙන් මිස සැබෑ ළොවේ යළි කිසි දවසක නොදකින පෙම්බරයා නමින් හෙලන

පෙම්වතියන් කඳුළු අරන් වැස්ස වහින්නේ..

රණ බිම වැද අප වෙනුවෙන් දිවිදුන් හෙළ විරුවන්ගේ

ලේ දහදිය කඳුළුයි මල් වෙලා පිපෙන්නේ..

Advertisements

කැමතිම පොතකින් පිටුවක් III

සමූහ ගොවිපොළේ පාළන මණ්ඩලයේ නිත්‍ය ඉස්තාල පාලකයා වශයෙන් දෙන ලද පත් වීම ෂුකාර් සීයා මහත් සතුටින් භාරගත්තේය. කලින් ධනවත් ගොවියන් සතුව සිටි එහෙත් දැන් සමූහ ගොවිපොළේ නිළ ගමන් සඳහා වෙන් කරන ලද කප්පාදු නොකළ අශ්වයින් දෙදෙනා ෂුකාර් සීයාට භාර දෙන ගමන් යාකව් මෙසේ කීය. ” මේ අශ්වයින් දෙන්නා වෙඩි බෙහෙත් බලා ගන්නවා වාගේ බොහොම ප්‍රවේශමෙන් බලාගන්න ඕනෑ. කොයි වෙලාවෙත් සූදානමින් තියන්න ඕනෑ. ඕනෑවට වැඩිය වේගයෙන් යන්න හොඳ නැහැ. බරදීන්ගේ අළු පාට අශ්වය හොඳ ජාතියෙ එකෙක්. ගුරි පාට අශ්වය දොන් පළාතට අයිති හොඳ පරම්පරාවකින් පැවත එන්නෙක්. අපට වැඩිය ගමන් බිමන් යන්න නැති නිසා ඉක්මනටම පට්ටි ගස්සන්න දමන්න ඕනෑ. දැන් ඉතින් සීය මේ අශ්වයින් දෙන්නට වගකියන්න ඕනෑ.”

“යාකව් හිතුවද මට අශ්වයින් බලාගන්න බැහැ කියා? මගේ ජීවිත කාළය තුළදී වෙන කිසිම කෙනෙකුට වැඩිය මම අශ්වයින් බලාගෙන තියෙනව. ඇයි මම බලාගෙන තියෙන අශ්වයින්ගෙ ගණන සමහර මිනිස්සුන්ගේ ඔළුවෙ කෙස්වලට වැඩියි.” ෂුකාර් සීයා පුරසාරම් දොඩමින් කීය.

ඇත්ත වශයෙන් ෂුකාර් සීයා මුළු ජීවිතයටම බලාගෙන ඇත්තේ නාකි අශ්වයින් දෙන්නෙක් පමණි. පළමු වන අශ්වයා ඔහු එළදෙනකට මාරු කල අතර දෙවන අශ්වයා නිසා පහත සඳහන් අකරතැබ්බය සිදු විය. මීට අවුරුදු විස්සකට පමණ පෙර අල්ලපු ගමට ගොස් එන අතර මගදී හමු වී අහුකින්ඨිකයෙකුගෙන් ඔහු රූබල් තිහක් ගෙවා වෙළඹක් ගත්තේය. ගණු දෙනුව කරන අවස්ථාවේදී ඔහු වෙළඹ සෝදිසි කොට බැලුවේය. ඈ මහතට සිටියාය. ඇගේ පාට මීයෙකුගේ පාටට සමාන විය. කණක් පහත් වූ අතර ඇහැක් පොට්ට විය. එහෙත් ඈ ප්‍රාණවත් වූවාය. ෂුකාර් සීයා අහිකුන්ඨිකයා සමඟ දවල් දොළහ වන තෙක් කේවල් කෙලේය. හතලිස් වතාවක් පමණ ගණුදෙනුව ගැන තීරණයකට බැසගත් ඔවුහු ආපසු පැමිණ ආයෙත් කේවල් කරන්නට වූහ.

“මේකි රත්තරන් වටිනව. දුවනකොට පොළොව පේන්නෙ නැහැ. ඒ තරම් වේගයෙන් දුවන්න පුළුවනි. හරියටම කුරුල්ලෙක් වගෙයි” අහිකුන්ඨිකයා ෂුකාර් සීයාගේ කබාය අල්ලාගෙන දිවුර දිවුරා කීය.

“බලනව කටේ එක දතක් නැහැ. ඇස් පේන්නෙත් නැහැ. කුර ගෙවිල. බඩ පැත්තට ඇල වෙලා. ඉතින් කොහොමද රත්තරන් වටින්නේ?රත්තරන් කොහොම වුණත් ගත්ත එකාට වගතුවක් වෙන්නෙ නැහැ” යි ෂුකාර් සීයා වෙළඹ තුට්ටුවට අරිමින් කීවේ ඇය ගැනීමට බාධාවක්ව තිබුණු අන්තිම රූබලය අහිකුන්ඨිකයා ලවා අඩු කරවා ගැනීමේ අදහසිනි.

“මොනවටද දත්? දත් නැතිව හොඳට තණ කොල කන්න පුළුවනි. නමුත් වෙළඹ තවම බොහොම තරුණයි. තවම දරුවෙක් වගෙයි. හිටිගමන් හැදුණු ලෙඩක් නිසයි දත් වැටිල තියෙන්නෙ. එක ඇහැක් නොපෙනුනාට තියෙන වැරැද්ද මොකද්ද? ඔය කියන තරම් පොට්ට නැහැ. ඇහේ මස් දළුවක් ඇවිදින්, ඒකයි ඇහැ පේන්නෙ නැත්තේ. සනීප උනාට පස්සේ කුර අළුත් කුර වගේ හිටීවි. ඈ පින්තූරයක් වගේ ලස්සණ වෙන්න පුළුවනි. මොනවටද එච්චර ලස්සණ! මොකද මේකිත් එක්ක බුදියගන්නද! එහෙම දෙයක් නැහැ නේද? ඕනෑ කරන්නෙ කුඹුරු වැඩට නේද? බලන්න ටිකක් මුගෙ හැටි. බඩ මහත් වෙලා තියෙන්නෙ ශක්තියටයි. දුවනකොට පොළොව දෙදරුම් කනව. වැටුනොත් දවස් තුනකින් නැගිටින්න බැහැ. මොකද සීයෙ රූබල් තිහකට රේස් අශ්වයෙක් ගන්නද කල්පනාව! පණ තියෙන එකෙක් නම් ඔය ගණන්වලට දෙන්නෙ නැහැ. මැරිච්ච එකෙක් නම් උගෙ මස් නිකම් දෙනව.”

වාසනාවකට වාගේ අහිකුන්ඨිකයා උණු වන සිත් ඇත්තෙකු විය.  තවත් ස්වල්පයක් කේවල් කිරීමෙන් ඉක්බිතිව අහිකුන්ඨිකයා අන්තිම රූබලය අඩු කොට තෝන්ලණුව සීයාගේ අතේ තැබුවේය. අනතුරුව වෙළඹගෙන් වෙන්වීම නිසා ඇති වූ ශෝකයෙන් මඳක් ඉකි ගසා ඇඬූ  හෙතෙම දුඹුරු පාට නළලේ රැඳුණු ඩහදිය නිල් පාට කමිස අතින් පිස දා ගත්තේය.

වෙළඹ ෂුකාර් සීයා අතට පත් වූ හැටියේම මෙතෙක් තිබුනු ඇගේ ප්‍රානවත් කම අතුරුදහන් විය. ඇය ගෙන යාමට ෂුකාර් ගත් මහත් වෑයමට නොකැමැත්තෙන් කීකරු වූ වෙළඹ කුරුමිණි කකුල් වැනි සිහින් ගාත් මත වැනි වැනී ගමන් කළාය. ඊට පස්සෙ තමයි අහිකුන්ඨිකයා හුණු කෑලි වැනි දත් විලිස්සා දුර යන ෂුකාර්ට කෑගා කතා කලේ.

“ඒයි සීයේ, මං ඔය වෙළඹට බොහොමාඅදරෙන් සැලකූ බව අමතක කරන්න එපා. මං ඇගෙන් අවුරුදු හතලිහක්ම වැඩ ගත්ත. තමුසෙටත් පුළුවනි එච්චර කල් වැඩ ගන්න. හැබැයි මතක ඇතිව අඩු  ගානෙ සුමානෙකට වතාවක්වත් කන්න දෙන්න ඕනෑ. නැතිනම් ජලභීතිකා රෝගය හැදෙනවා. මගෙ තාත්ත රුමේනියාවෙ ඉඳල ගමට ආවෙ ඇගේ පිට උඩටයි. තාත්තට ඇය ලැබුනෙ මොස්කව් නුවර ඉඳල පසු බැස්ස ප්‍රංශ සේනාවෙන්. බොහොම දුර්ලබ වර්ගයේ අශ්වයෙක්.”

ෂුකාර් මිලදී ගත් භාණ්ඩය අමාරුවෙන් ගෙන යන අතර අහිකුන්ඨිකයා තවත් මොනවාදෝ කියා කෑගෑවේය. කළු අහිකුන්ඨික ළමයින් කූඩාරම් වටේ හා අහිකුන්ඨිකයා අසල බිම පෙරළෙමින් කවුඩුපනික්කියන් මෙන් කෑකෝ ගැසූ අතර අහිකුන්ඨික ගෑනු උන්ගේ විනිවිද යන හඬින් කොක් හඬලා සිනාසුනහ. එහෙත් ඒ කිසිවක් ගණන් නොගත් ෂුකාර් වෙළඹත් ඇදගෙන ගමන් ගත්තේය.”මටම පේනවා මං ගත්ත අශ්වයාගෙ හැටි.සල්ලි තියෙනවානම් මීට වඩා හොඳ අශ්වයෙක් ගන්න පුළුවනි.” ඔහු තමාටම කියා ගත්තේය. “අර අහිකුන්ඨිකයා මා වාගේ විනෝදයට කැමති මිනිහෙක්. කොහොම උණත් දැන් මට අශ්වයෙක් ඉන්නවා. මට පුළුවනි මගේ ගෑනි පිට උඩ ඉන්දවා ගෙන ඉරිදා පොළට යන්න.”

එහෙත් ඔහු ගමට ළඟා වන්නටත් කලින් වෙළඹට පුදුම දේවල් සිදුවන්නට විය. පසු පස හැරී බැලූ ඔහු දුටු දෙයින් බිරාන්ත විය. ඔහු මිළදී ගත් බඩ මහත ලස්සන වෙළඹ වෙනුවට ඔහුට දකින්නට ලැබුනේ බඩ එල්ලී වැටෙන, තට්ටම් වළගැසුණු, කන් කඩා වැටුණු,නොන්ඩි ගසන, සතෙකි. පැය භාගයක් තුළදී ඈ සිටිය ප්‍රමාණයට වඩා භාගයකින් පමණ අඩු විය. කුරුසියේ ලකුණ ඇඳ භූතයන්ගෙන් ආරක්ෂා වීම පිණිස මන්ත්‍රයක් ජපකොට ලණුව අතහැරිය ෂුකාර් ගල් ගැසුණාක් මෙන් හිටි තැනම නතර විය. මෙතෙක් පැවැති සුරාමතය මොහොතකින් සිඳී ගියේය. ඇදහිය නොහැකි තරම් ඉක්මණින් සිදු වූ දිරා යාමට හේතුව ඔහු දුටුවේ වෙළඹ වටේ ගොස් පිරික්සා බැලූ පසුවය. දුටුවන් තුළ ලැජ්ජාව ඇති වන තරමට පැත්තකට ඇල වූ, ලණුවක් මෙන් තෙමී සිහින් වී ඇගේ වළිගය යටින් සිහින් හඬක් නගමින් දුගඳ වාතයක් පිට විය. ඒ වාතයත් සමග සිහින් ගොම පහරක්ද පිට විය.” මේ වෙළඹ ගත්තට මට හෙන ගහන්න ඕනෑ” යි කියමින් හිසේ අත් ගසා ගත් ෂුකාර් පෙරටත් වඩා වේගයෙන් වෙළඹ ඇදගෙන යන්නට විය. ඇගේ  බඩ ඇතුළේ සිට ගොර ගොර හඬක් නගමින් පිට වන වායුවත් සමග මිශ්‍ර වූ ගොම පහර ගමට එනතෙක් නතර නොවීය. මහත් නින්දාවක් වූ  එම ගොම පහර මග දිගේම දකින්නට තිබිණි.

ෂුකාර් වෙළඹගේ කට කලියාවෙන් ඇදගෙන ගියා නම් සමහර විට ගමට යන්නට ඉඩ තිබිණි. එහෙත් ගමට ඇතුළු වූ තැනම තිබෙන, තමාගේ පාත්‍ර මිත්‍ර කොසෑක්වරු කීපදෙනෙක් පදිංචිව සිටින ගෙය ඉදිරියට පැමිණි ඔහු වෙළඹගම මැදින් ඇදගෙන යනවාට වඩා ඇගේ පිට උඩ නැග ගාටමින් හෝ යාම හොඳ යයි තීරණය කෙළේය. ඔහු තුළ හිටි හැටියේම අහංකාරකමක් ඇති විය. වරක් ඉතා දිළිඳු තත්වයක සිටි තමා දෙන් මඳක් තත්වයෙන් ඉහල් නැග, දිරා ගියත් අඩු ගනනේ තමාගේම යැයි කිව හැකි අශ්වයෙකු පිට යාමට ලැබීම ගැනත්, ඒ ගැන පුරසාරම් දෙඩීමටත් ඔහු තුළ ලොකු ආශාවක් ඇති විය. තමා නතර වූ තැන තිබෙන ගෙය ඇතුළේ සිට තමා අඳුනන කොසෑකයෙක් එළියට එන බව හොර ඇසින් දුටු ෂුකාර් ඔහුට ඇසෙන්නට “දැන් ඉතින් උඹේ ඔය විහිළුව නතර කරපන්” යැයි වෙළඹට තරහෙන් කෑගා කීවේය. මෙසේ කියා තෝංලණුව ගත් හෙතෙම තමාගේ ලොකුකම පෙන්වීමට වෑයම් කලේය. මීට බොහෝ කාලයකට පෙර, ඉලන්දාරි කාලේ ‘සෙල්ලම් පෙන්නා ‘ ඇති වෙළඹට ඒ සෙල්ලම් දැන් පෙන්වීමට උවමනාවක් නොතිබිනි. ශෝකයෙන් හිස පහත් කරගත් ඈ පසු ගාත් දෙක එක ළඟ තබා නතර වූවාය. “මගෙ යාළුවන්ට පේන්න ඒ ගොල්ලන්ගෙ ගෙය ඉස්සරහින් වෙළඹගෙ පිට උඩ යන්න ඕනෑ” යි කල්පනා කල ෂුකාර් වෙළඹගේ ඇට පෑදුනු පිට උඩට නැග්ගේය. කාලයක් ගත වන තුරු ගැමියන් අතර පැතිර ගිය කතාවට තුඩු දුන් දෙය සිදුවූයේ මේ මොහොතෙහි දීය. ෂුකාර්ට කවදාවත් සිදු නොවූ නින්දාවකට මුහුණ පෑමට සිදු වූයේද මෙතැනදීය. ඉන් ඇති වූ ජනප්‍රවාදය ඔහුගේ කාලය තුළ පමණක් නොව සමහර විට අනෙක් පරම්පරාවටද පැතිර යන්නට පිළිවන…. ෂුකාර් අශ්වාරෝහකයකුගේ විලාසයෙන් වෙළඹගේ පිට උඩ ඉඳගැනීම පිණිස ඇගේ කොඳු ඇටය උඩ පසුපස තැබුවා පමණි. වෙළඹ පැත්තටඇලවූවාය. ඇගේ උදරයෙන් ගෙරවුම් හඬක් පිට විය. අනෙක් මොහොතේ ඈ වලිගය කෙළින් කරගෙන හතර ගාතයෙන් බිම ඇද වැටුනාය.ෂුකාර්ගේ දෑත දෙපැත්තට ගියේය. ඔහු විසි වී ගොස් ගුරු පාරේ වැඩෙන වල් පැලෑටි උඩ ඇදවැටිණි. තෝන්තු වූ ෂුකාර් වහා නැගිට්ටේය. තමාට සිදුවූ නින්දාව කොසෑකයා බලා සිටින බව හොර ඇසින් දුටු හෙතෙම නින්දාවෙන් නිදහස් වීම පිනිස “යකෝ ඔය දෙඟලිල්ල නවත්වපන්” කියමින් වෙළඹට පයින් ඇන්නේය. නැගී සිටි වෙළඹ අළුත් ස්වාමියාට කිසිම සැලකිල්ලක් නොදක්වා පාර අයින දිගේ වැඩෙන වල් පැලෑටි කන්නට වූවාය.

ෂුකාර් දෙස බලා සිටි කොසෑකයා විහිළු කාරයෙකි. සරදමට කැමැත්තෙකී. වැට උඩින් පැන ෂුකාර් ළඟට පැමිණි හෙතෙම “කොහොමද තමුසෙ අශ්වයෙක් ගත්තද?” යි ඇසුවේය. “අශ්වයෙක් නම් ගත්තා. නමුත් පොඩි වැරැද්දක් තියෙනව. හරිම විසයක් තියෙන බඩුවක්. පිට උඩ නැග්ග හැටියෙම බිම දමනව. මං හිතන හැටියට තාම කව්රුවත් පිට උඩ ගිහින් නැතිව ඇති.තවම හීලෑ නැහැ.” ෂුකාර් කීය.

වෙළඹ වටේ වරක් හෝ දෙවරක්  ගිය කොසෑකයා ඒ අතර ඇගේ දත් පිරික්සා බලා බරපතල්කම හඟවා “ඔව්.ඒක නම් ඇත්ත තමයි, තවම හරියට හීලෑ කරල නැහැ. දත්වලින් පෙනෙන හැටියට අඩු ගණනේ අවුරුදු පනහක් විතර ඇති. සමහරවිට උසස් වර්ගයේ වෙළඹක් නිසා කාටවත් හීලෑ කරගන්න බැරි වෙන්න ඇති.” කීවේය.

කොසෑකයා අනුකම්පාවෙන් කල කතාව ඇසූ ෂුකාර් ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසීමට අදහස් කෙළේය. “ඉග්නාති මේ වෙළඹ බලන් ඉන්දැද්දි වගේ කෙට්ටු උනේ මොකද කියා උඹට කියන්න පුළුවන්ද? පාර දිගේ දක්කගෙන එනකොට මගේ ඇස් ඉදිරිපිට දිය වෙන්න පටන් ගත්ත. ඒ එක්කම පිටිපස්සෙන් වාතයක් පිට උනා. ගන්දස්කාරෙ ඉන්න බැහැ.  ඒ වාතයත් එක්ක වළක් පිරෙන තරමට ගොම ගියා. මග දිගටම ගොම පාර.”

“කොහෙන්ද මේ වෙළඹ ගත්තේ? අහිකුන්ඨිකයකුගෙන්ද?”

“ඔව්, අහිකුන්ඨිකයෙකුගෙන් තමයි ගත්තේ. ගමෙන් පිට උන් වාඩි දමාගෙන ඉන්නවා.”

“කෙට්ටු වෙලා තියෙන බව නම් ඇත්තයි.” අශ්වයන් හා අහිකුන්ඨිකයන් ගැන හොඳ දැනුමක් ඇති ඉග්නාති කීවේය.”උන් මේ වෙළඹ තමුසෙට විකුනන්න කලින් හුළං ගහල පුම්බලා තියෙනව. වයසට ගිහින් කෙට්ටු වෙච්ච අශ්වයෙක් හිටියොත් උන් පස්සා පැත්ත දිගේ හීන් බට දණ්ඩක් යවල හොඳට බඩ පිම්බිල මහතට පෙනෙනකන් කුප්පායමේ ඉන්න හැම එකාම බට දණ්ඩට පිඹිනව.ඉතින් හරකෙකුගෙ හුළං බොක්ක වගේ බඩ පිම්බුනාම බට දණ්ඩ එළියට ඇදල දාලා හුළං නොයන්න පාන්කඩ ඔබනව.  නැතිනම් බඩ ඉරිඟු කරළක් ගහනව. උන් ඒක තමයි මේ වෙළඹටත් කරලා තියෙන්නේ. මගදි එනකොට ඇබය ගැලවිල හුළං බහින්න ඇති….ආපහු ගිහින් ඇබය හොයාගෙන එනව. ඊට පස්සෙ හුළං ගහමු.”

“උන්ට යකා ගහන්න ඕනෑ” යි කියමින් කෑ ගැසූ ෂුකාර් අහිකුන්ඨික කුප්පායම බලා ආපසු දිව්වේය. එහෙත් කන්ද මුදුනට නැග බැලූ ඔහුට ගඟ අසල තිබූ කුප්පායම දකින්නට නොතිබිනි. අහිකුන්ඨිකයින් විසින් නිවා දමන ලද ගින්නෙන් නැග්ග දම්පාට දුම වාතයේ පාවෙමින් තිබිණි. ඈත පාර දිගේ නැගුනු දූලි වලාකුල් සුළඟත් සමග දිය වී ගියේය. සුරංගනා කතාවක සිදු වූවා මෙන් අහිකුන්ඨිකයෝ අතුරුදහන් වූවෝය.

ෂුකාර් අඬමින් හා දොඩමින් ආපසු ගියේය. ගෙදරින් එළියට පැමිණි පරහිතකාමී කොසෑකයා “ආයෙත් නොවැටෙන්න මං වෙළඹ කෙළින් කරල දෙන්නම්. ඊට පස්සෙ නැගල යන්න” යි කියමින් ෂුකාර්ට උපකාරයක් කිරීමට ඉදිරිපත් විය. කොසෑකයාගේ උපකාරය ඇතිව ඔහු කෙසේ හෝවෙළඹ පිටට නැගගත්තේය. එහෙත් ඔහුගේ දුර්හාග්‍ය එතැනින් අවසන් වීමට දෛවයෙන් නියම වී නොතිබිනි. මෙවර වෙළඹ හතර ගාතයෙන් නොවැටුනත් ඇගේ ගමන් විලාසය බලන්න පුදුමයක් විය. දුවන්නට සැරසෙන්නාක් මෙන් ඉස්සරහ ගාත් දෙක ඉදිරියෙන් තැබූ ඈ පසු පස ගාත් දෙක තට්ටමටත් වඩා ඉහලින් ඉස්සුවාය. මේ ආකාරයට ඈ පළමුවන පාර කෙළවරට ෂුකාර් ගෙන ගියාය. මේ පිස්සු ගමනේදී ෂුකාර්ගේ කැප් තොප්පිය සුළඟට ගසාගෙන ගිය අතර අධික ගැස්ම නිසා ශරීරය තුළ යම් දෙයක් හතර පාරක්ම කැඩුණාක් මෙන් දැනිණී. “අනේ උඩ ඉන්න දෙයියනේ,මේ විදිහටනම් මට තවත් දුර යන්න බැහැ.” යි තමාටම කියාගත් ඔහුවහා බිමට පැන කැප් තොප්පිය සොයා අපසු ගියේය. එහෙත් ගැමියන් කීප දෙනෙක් තමා දෙසට එන බව දුටු හෙතෙම ආපසු ගොස් හැකි තරම් ඉක්මනින් ඒ අවාසනාවන්ත සත්ත්වයා ගමෙන් පිට ගෙන යෑමට වෑයම් කලේය.ඔහු පසු පසින් පැමිණි කොල්ලන් කීප දෙනෙක් ගමේ මෝල ළඟදී නතර වූහ. ආයෙත් වරක් වෙළඹ පිට නැග යාමට තරම් ධෛර්‍යයක් ෂුකාර්ට නොතිබිනි. මඳක් කල්පණා කළ හෙතෙම කන්ද නැග ගම වටේ ගියේය. එහෙත් කන්ද මුදුනේදී වෙළඹ ඇදගෙන යාමෙන් විඩා වැටුනු හෙතෙම වෙළඹට ඉස්සර වී යාමට ඉඩ දීමට අදහස් කලේය. තමා විසින් මෙතරම් විශාල මුදලක් ගෙවා ගත් වෙළඹගේ දෑසම නොපෙනෙන බව ඔහුට පෙනී ගියේ එවිටය. පාර දිගේ යනවා වෙනුවට පාර හරහා ගිය ඈ අගල් හා වළවල් උඩින් පනිනවා වෙනුවට වැටුණාය. වෙව්ලන ගාත් වලින් අමාරුවෙන් ගොඩ එන ඈ ආයෙත් අගල් දෙසටම ගියාය. වෙළඹ පාර දිගේ කෙළින් යනවා වෙනුවට වටේ කරකැවෙන බව ෂුකාර් දුටුවේ එවිටය. මේ අළුත් සොයා ගැනීමෙන් තෝන්තු වූ හෙතෙම වෙළ්ඹට ඕනෑ විදියට යන්න හැර බලා සිටියේය. එක වටයක් ගොස් අවසන් කල වහාම ඈ තවත් වටයක් ගියාය. මෙසේ ඈ ඇසට නොපෙනෙන කිසියම් වටකුරු මාර්ගයක් ඔස්සේ ගමන් කළාය. තමා මිළ දී ගත්  මේ වෙළඹමුළු ජීවිත කාලයේම වතුර රෝදයට බැඳ තබන  ලද බවත් , මහළු වන තෙක් රෝදය කරකැවූ ඈ අන්තිමේදී අන්ධ වූ බවත් ෂුකාර් කාගේවත් උපකාරයක් නැතුව අවබෝධ කෙළේය.

දවල් කාලයේදී ගමට යාමට ලැජ්ජා වූ ෂුකාර් අඳුරු වැටෙන තෙක් වෙළඹට කඳු බෑවුමේ තණ කෑමට ඉඩ හැර අඳුරු වැටුණු පසු කිසිවෙකුට නොපෙනී වෙළඹ ගෙදර ගෙන ගියේය. ඔහුගේ තරබාරු වදක බාරිය ඔහු පිළිගත් ආකාරයත්, මේ අසර්ථක ගනුදෙනුව නිසා මේ කුඩා මිනිසාට විඳින්නට සිදු වූ දුක් පීඩාදිය ගැන සියළු තොරතුරුත් ‘අප්‍රකට අන්ධකාරයෙන් වැසී ඇත.’යි එකල ෂුකාර් ළඟින් ඇසුරු කල ලොක්තෙව් නැති ගමේ පාවහන් සාදන්නා කීය. නොබෝ කලකින්ම වෙළඹට කුෂ්ඨ රෝගයක් වැළඳී මයිල් හැලී ඉතා පිළිකුල්  තත්වයට පත් වූ බවත්, අන්තිමේදී දිනක් මධ්‍යම රාත්‍රියේදී ෂුකාර්ගේ මිදුලේ ඈ සන්සුන්ව අවසන් හුස්ම හෙළූ බවත් පසුව දැනගන්නට ලැබිණි. ෂුකාර් ඔහුගේ මිත්‍ර පාවහන් සාදන්නා සමග වෙළඹගේ හම විකුනා ගත් මුදලින් හොඳ හැටි බීවේය.

උපුටා ගැනීම: සිරිල් සී පෙරෙරා විසින් පෙරළූ නැවුම් පස නමින් අනුවර්තිත, මිහයි ෂෝලහොව් විසින් රචිත the Virgin Soil Upturned කෘතියෙනි.

යාළුවා..

yo,buddy

මේ අහපන් යාළුවා..

උඹ දන්නවා හොඳටම උඹ කවුද කියලා..

උඹට පයින් ගහලා බිමදාපු උන්ගෙ කකුලුත් හපාගෙන

නැගිටපන් ආයිමත්;

සටන් කරපන්..

ජීවිතය යුද්දයක්..

අනිත් හැමෝම දිනද්දි

උඹට විතරක් පරදින්ඩ බැහැ..

කඩාවැටෙන්න එපා..

කෙළින් තියාගනින් ඔළුව

බලාපන් ලෝකය දිහා..

අපි මේ දුවන රේස් එකේ..

උඹේ දුක අහලා කඳුළු බෙදා ගන්න

කවුරුවත් නවතින්නේ නැහැ..

අඹේපුස්ස තානායමට ගොඩ වැදුනෙමි..

ලියන්නෙ මොනවද කියල හිත හිතා ඉන්දැද්දී මතක් උනේ අඹේපුස්ස තානායම ගැන කට්ටියටම කියන්න හිතාගෙන හිටිය කියල. හැම සති අන්තයටම නුවර යද්දි බඩ පණුවන් සනසා ගන්න අඹේපුස්ස අවන්හලෙන් කෙටි කෑම කාලාම එපා වෙලා නිසා තීරනය කරා ඒ ඉස්සරහම තියෙන අඹේපුස්ස තානායමට යන්න.

යද්දි දවල් කෑම වෙලාව ලං වෙලා. ඉතිං හොඳට ඉඩ කඩ තියෙන රථ ගාලෙ බය නැතුව වාහනේ නවත්තලා ගියා ඇතුලට. බුෆේ (Buffet) ක්‍රමයට දවල් කෑම. මම බෙදාගත්තෙ කහ බත්, දැක්කම නොකා ඉන්න හිත දුන්නෙම නැති කුකුළු මස් කරියයි කිරට හදල තිබුන රහම රහ පාට අල (කනකොටයි දැනගත්තෙ මඤඤොක්කා කියල) කරියකුයි පොල් සම්බෝලයක් සමග තෙල් දාපු කීරමින් කරවල. එක් අයෙකුට රු.600.00 (වැඩිද මංදා.)

තව හුඟක් ජාති තිබුනා ඒ උනාට මම බෙදාගත්තෙ ඔච්චරයි.  හරිම නිස්කලංක තැන.Hubby ගෙ හිතට හොඳට අල්ලලා. පාඩුවෙ ඉඳගෙන තැඹිලි ගෙඩි දෙකකුත් ගෙන්න ගෙන කෑම කන අතරෙ මේසෙ ලඟට calypso සංගීත කන්ඩායමක් ආවා. අපි ඉල්ලපු හැම සිංදුවක්ම හරිම ලස්සනට  කිව්වා. ඇත්තමයි… මට හිතුනෙ අපේ හෝටල් සංස්ථාව දියුනු කරල ගත්තනම් කොයි තරම් හොඳ ආදායමක් ලබන්න තිබ්බාද?.. ඒකත් විකුනගෙන කෑවානෙ.සුද්දා හදපු පරන තාලෙ බිල්ඩිම උනාට ලස්සනට නඩත්තු කරලා. Wash rooms  හරිම පිරිසිදුයි. ඇත්තමයි  ආගන්තුක සත්කාරයත් හරිම ඉහලයි. මම Guest Book එකක් තියෙනවාද කියල අහන්න හදනකොට Hubby කිව්වා ඊට වඩා හොඳයි අපි දන්න අඳුරන හැමෝටම මේ තැන ගැන කියමු කියලා.

ඉතිං මගේ යාළුවනේ මං හිතුවා ඔයාලටත් කියන්න. අඹේපුස්ස හරහා යන එන අතරමගක ගොඩ වැදිලා බලන්න.

මා දුටු මැයි දිනය

තවත් එක් දවසක් උදාවිය, නමින් ‘මැයි දිනය’ක්

නුවර තැන තැන ලෙසින් දිස් විය පොලිතින් කඩයක්,

රතුපාට කොඩි වැල් මැද

වේදිකාවේ කොනක බලා උන්නෝය

ලෙනින්,ට්‍රොට්ස්කි, කාල් මාක්ස්.. විපිළිසර වී..

කම්කරු පන්තියට ජයඝෝෂාය.. සටන් පාඨ බොහෝය..

බැස ගිය සඳ හිරු අවරින්..

විසිර යන්නට පටන් ගත්තාය ‘වැඩකරන ජනතාව’

යලි හමුවන තෙක් ලබන මැයි දිනයේදී…