නොසැලකිලිමත් රියදුරන්, නීතිගරුක පදිකයන් සහ රිය අනතුරු

සකල සිරින් පිරි සිරි ලංකාවේ බොහෝ හුදී ජනයා ආණ්ඩුවේ හෝ බස් මුදළාලිලාගේ බස් වලත් සමහරු සුද්දාගේ කාලේ විදිහටම තවම (පණ අදිමින්) දුවන රේල්ලුවේත් ගමන් බිමන් යති.  අපි හැමෝම අපිටම කියා රෝද දෙකේ හරි රෝද හතරේ හරි වාහනයක් තියෙනවානම් බොහෝම කැමතිය. අඩුම තරමේ පුස් බයිසිකලයක් වත් තියෙනවානම් හදිස්සියකට හන්දියට හෝ ටවුමට  බඩුවක් මුට්ටුවක් ගන්න යන්නට පහසුය. ලංකාවේ මාර්ග පද්ධතියට ඔරොත්තු නොදෙන තරමේ වාහන කන්දරාවක් මෙරට ධාවනය වන බවද මේ අතර වාර්තා වේ. ඒ උනත් පෘථග්ජනයා තම තමන්ගේ ගමන් පහසුවත් ආරක්‍ෂාවත් (??) තකා ණයක් තුරහක් වී හෝ වාහන කට්ටක් මිලදී ගැනීමට කැමතිය. බෙන්ස්,ජගුවර් , පොශ් ඈ සුපිරි පංතියේ වාහන කෙසේවෙතත් මරුටියක් වත් තිබේනම් උජාරුවෙන් නැගී යා හැකිය. මේ කොයි වාහනය උනත් එලවීමට නොහොත් පැදවීමට නොහොත්  සිංහලෙන් කියනවානම්  ඩ්‍රයිව් (සමහරු වාහනය ඩයිව් ද කරති) කිරීමට නිකන් බැරිය. ඒකට ආණ්ඩුවෙන් ලයිසොන් ගත යුතුය. එසේ නැතුව වුවද වාහනයක් පැදගෙන යා හැකි වුවද සුදු පටිකාර මහත්වරුන්ට අහු උනෝතින් කපෝතිය. හදිසි අනතුරකට ලක් වූවොත් ඉතින් කතරගම දෙයියන්ගේම පිහිටය.  

ලයිසොන් ගන්නට පෙර මාර්ග නීති ඈ සියළු දේ ගැන මනා  දැනුමක් තිබිය යුතුය. දැන් ඒ සඳහා විභාගයක්ද පැවැත් වේ. මාර්ගවල රියැදුරන් සඳහා නොයෙක් සංඥා පුවරුද පිහිටවා තිබේ. වාහන නීති අකුරට පිළිපදිනවාදැයි සොයා බලන්නට වෙනම පොලිසියක්ද තිබේ. ඒ කොයිවා වෙතත් ඇති පදමට මාර්ග අනතුරුද සිද්ධ වේ. බොහෝ මාර්ග අනතුරු වලට මුල රියැදුරන්ගේ නොසැලකිලිමත් බව, බීමත් බව සහ තව නොයෙකුත් දේ බව කියැවේ. එහි ඇත්තක් නැතුවා නොවේ ඒ නමුත් මාර්ග නීති ඇතුළු සියළු නීති රීති පිහිටුවා ඇත්තේ සහ ක්‍රියාත්මක වන්නේ රියැදුරන් සඳහාම පමණක්ද? පදිකයන් සඳහා මාර්ග නීති බලපැවැත්වෙන්නේ නැදද? මාර්ග අනතුරකදී පදිකයෙකු මියගිය විට රියැදුරාට අල්ලාගෙන තඩි බාන්නේත්, අනතුර පිලිබඳ සාක්‍ෂියක්වත් ඉතිරිකර නොතබා අදාල වාහනය ගිණිබත් කරන්නේත්, “නොසැලකිළිමත් රියැදුරෙකු නිසා අහිංසක ජීවිතයක් මාරයාට බිලි” ආදී ලෙසින් පොල් ගෙඩි අකුරු වලින් පත්තරවල  ලියැවෙන්නේත්  රියැදුරා මත පමනක්ම වරද පැටවෙන නිසා නොවේද? එතකොට කහ ඉර පෙනි පෙනී අනතුරුදායක ස්ථානවලින් පාර පැනීමේත්, මෙලෝ සිහියක් නැතුව හිටි ගමන් පාර හරහා දුවගෙන යෑමේත්, පදිකයන් සඳහා සංඥා පුවරුවේ කොළ එළිය දැල්වී තිබියදී ලැසි ගමනින් විත් රතු එළිය දැල්වෙන විට පාර පනින්නට මතක් වීමේත්, වඳුරාට දැළි පිහිය අහුවුනා සේ ජංගම දුරකථනය කනේ ගහගෙන පාර පුරා යාමේත් විපාකවලට වගකිව යුත්තේත් රියැදුරන්ද? මාර්ගයේ ගමන් ගන්නා අය නීතිගරුක විනීත අයද?

අඩුම තරමින් පාර මාරුවීමෙදී අනුගමනය කල යුතු මූලික නීති රීති ගැන අපේ පදිකයින් දැනුවත්ද? විශේෂයෙන් පාසැල් ළමුන් දැනුවත්ද? වාහනයකට වාගේම පදිකයන්ටද හිතෙන හිතෙන තැන් වලින් හිතේ හැටියට පාර මාරු වීමට නොහැකිය. කහ ඉරකදී වුවද පාර මාරු විය යුත්තේ වාහනයක් නවතාගත හැකි දුරකින් එනවිට පමනක් බව දන්නේ කීයෙන් කී දෙනාද? තමන්ගේ ජීවිතය බේරීමට රියැදුරා වගබලා ගත යුතුය යන හැඟීමෙන් බොහෝ පදිකයන් කටයුතු කරන බව පෙනේ. 

එක එක ජාතියේ වට්ටෝරු කියමින් විච්චූරන කෑම හදන්නට සහ රූපලාවන්‍ය ටියුෂන් දෙන රූපවාහිනී නාළිකාත් කටකමසිරියාවක් නැතුව තිස්සෙ දෙවේලේ ඔහේ පල් හෑලි දොඩවන කප්පරක් එෆ් එම් නාළිකාත් අඩුම තරමින් මේ ගැන ජනතාව දැනුවත් කරන්නට කල්පණා කරනවාද? රථ වාහන පොලිසි වලින් අඩුම තරමේ වීදි නාට්‍යයක් තුලින්වත් ජනතාව දැනුවත් කරනවාද? වැරදි කරන රියැදුරන් සේම වැරදි කරන පදිකයින්ද දඬුවම් ලැබිය යුතුයි නේද?

සැප්. 19 වනදා ලුම්බිණියේදී තාරාවෝ ඉගිල ගියහ….

“මඩේ ලගින තාරාවන් නාවන්නද මං..?” මර්සි එදිරිසිංහ ශිල්පිණියගේ අපූරු ගායනය බොහෝ වාරයක් අසා තිබුනද ඒ රංගනය දැක තිබුනද , “තාරාවෝ ඉගිලෙති” ගැන අසා තිබුනද..ඒ නාට්‍යයේ තිබෙන ගීත රස විඳ තිබුනද ඒ නාට්‍යය මට නැරඹීම මට සිහිනයක්ම විය. එහෙත් 19 වන දා ලුම්බිණි රඟහලේදී ඒ සිහිනය සැබෑ විය.

“සෝභාව දේ..” ගීතය ගයමින් හර්ෂ සහ සුමින්දගේ වේදිකා ප්‍රවිෂ්ඨයත් සමග ඒකාලෝක වූ වේදිකාව මත දිග හැරුනු කථාව මුළු ප්‍රේක්‍ෂකාගාරයම කුල්මත් කලා. නාටය්‍ය මැද හරිය ටිකක් ඇදෙන ගතියක් තිබුනත් සමස්තයක් විදිහට මුළු නාට්‍යයම ඉතාමත් ඉහළ තළයක  තිබුනා. අඩුවකට වගේ  ජිනාගෙ පොඩි arrogant ගතියක් දැක්කා. ඒක නිසා ඒ චරිතයේ  සැහැල්ලු බවට හානි වුනාදෝ කියලත් හිතුනා.  රොඩ්නිගේ සහ හර්ෂගේ රංගනය විශිෂ්ඨ බව අවිවාදිතයි. නිරෝෂාන් ගේ රංගනයත් ඒ වගේමයි. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ නිරෝෂන්ට රඟපාන්නට බැහැ කියලයි. ඒත් ඔහුගේ දක්‍ෂතාවය ඔහු පෙන්නුවා. ඒ දක්‍ෂතාවය පුංචි තිරයේ නොවැදගත් චරිතවලට දිය කර හැරීම අපරාධයක්.

ලොරිටා ගේ සහ විජයගේ බිරිඳගේ චරිතවලට ෆර්නි සහ අනිත් නිළිය තමන්ට හැකි පමණින් සාධාරණය ඉටු කලා. ඒ වගේම ගාමිණී සමරකෝන් සහ අනුර බණ්ඩාර රාජගුරු යන මහත්වරුන් තවමත් ක්‍ෂේත්‍රයේ රැඳී සිටීමත් සතුටක්. ආ.. තව දෙයක් කියන්නම ඕනෙ. චූං චෑං සහ අනිත් සහය නළු නිළියන් ගැන. ඔවුන් නිසා නාට්‍යය අතිශයින්ම අලංකාර වුනා. ඒ නර්ථන වින්‍යාසයන් හරිම අපූරුයි. නාට්‍යය අවසන අත්පොලසන් හඬින් ප්‍රේක්‍ෂකාගරය පිරී ගියා. ලූෂන් බුලත්සිංහළ මහතා වේදිකාවට පිවිසෙද්දී අත් දෙක කැඩෙන්න තරම් හයියෙන් අපි අත්පොළසන් දුන්නා.

පුංචි දුකක් හිතේ කොනකින් මතු  වුනා. ගුණදාස

කපුගේ සංගීතවේදියාණන් මෙතැන නැති අඩුව මට වගේම අනිත් අයටත් දැනෙන්න ඇති. රඟහලෙන් එළියට එනකොට මට හිතුනේ එකම එක දෙයයි… “අනේ මටත් වේදිකා නාට්‍යයක රඟපාන්න ඇත්නම්……!”

අපිටත් ලයිට්. -1

“පොඩ්ඩෝ… පොඩ්ඩෝඕඕඕ…”

 මේසය මත තබා තිබුනු කෑලි හතරේ රේඩියෝව අතට ගනිමින් ගුණපාල  පොඩ්ඩාට කතා කලේය.

  “මේකා කොහේ ගිහින්ද? පොඩ්ඩෝඕඕඕඕඕඔ!!!”

 එවර හොඳටම කේන්ති ගිය ගුණපාල වඩාත් හයියෙන් කෑගසුවේය. කොතෙක් කතා කලත් ඵලක් නොවන වග දැනගත් ඔහු කුස්සිය දෙසට පිය මැන්නේ වතුර උගුරක් බොන අටියෙනි. මැට්ටෙන් කල කළය තිබුනු තැන නැති බව දුටු ගුණපාලට යක්‍ෂයා ආරූඪ විය,

 “මේ ගෑනිත්  අන්තිම වතුර බිංදුවට හිඳෙනකල් ඉන්නව.. අනේ මංද මුන්ට මොනව වෙලාද කියල…”

 යි කොඳුරමින් එළිපත්තට ගොස් වැලේ දමා තිබූ ළූණු සිවියක තරමටත් වඩා දිය වී ගිය බැනියම ඇඳගෙන පාරට පිවිසුනි. දෙවැට පාරෙන් හැරී වී මෝල වත්තට යන පාරට පිවිසි ඔහු වට පිට බලා අන්දිරිස්රිස් ගේ කුඹුර කෙලවර බඩ වැටියට රිංගා ගත්තේය. බඩවැටිය කෙලවර විශාල දෙල් ගස පිටුපස සිට බෝතලයක්ද අතැතිව  මතුවුනේ අන්දිරිස්  ගේ මල්ලී සීමොන්ය.

 

” ගුණේ එනව දැකලයි මම මෙතෙන්ට ආවෙ. අපේ අයියා කැමති නැහැනෙ මේවට. මිනිහ කැමති නැහැ මම මේක අස්සෙ බිස්නස් කරනවට.. පිටිපස්සෙ ඇල අයිනෙ දෙබුක්කාවෙ බඩු හංගල මම මේ හරියෙම කැරකි කැරකි ඉන්නව. කවුරු හරි එනව දැක්කොත් සුටුස් ගාලා ගිහින් ගේනව..”

 වීදුරුවට කටින් පිඹ, අරක්කු වත් කරමින් සීමොන් කීය.

 

“සීමොන් මල්ලි නැත්නම් අපිට ඉතින් ටවුමටම පදින්න වෙනව මේව ගන්න. ඇරත් අප්පා… එව්වයෙ ගාණ ඇහැව්වාම බොන එකත් එක්ක එපා වෙනව..”

 

අරක්කු ටික උගුරට හලාගත් ගුණපාල මූණ ඇඹුල් කරගෙන “තුහ්” ගා කෙල ගැසුවේය. “අප්පාහ්හ්හ්.. නියමෙට වදිනව මලේ.. තව බාගයක් දාමු..”යි කියමින් වීදුරුව දික් කලේය.

මෙසේ ‘තව බාගයේ ඒවා’ කිහිපයකින්ම සප්පායම් වී සීමොන්ගේ ගණුදෙණු බේරූ ගුණපාල , සන්ද්‍යාවේ හමන සිසිල් සුළං රැළි පහස වදිමින් නිවස බලා පිටත් විය. දුර තියා ඔහු එනු දුටු බිරිඳ, පොඩි මැණිකා මිදුලේ කරමින් සිටි කාරිය නවතා ගෙතුලට ගොස් කේතළය ළිප තැබුවාය. වෙරි මරගාතේ ගෙට ගොඩ වූ ගුණපාල වැල් පුටුවට (වැල් පුටුවක් කීවාට එය වැල් කැඩී ගිය ලෑල්ලක් අතුරන ලද එකකී) ඇද වැටී “සිරි ගණ සැහැසි.. ලෝකේස්සරාආආආ..” යනුව්න් සිය සුපුරුදු ගායනය ආරම්භ කලේය. 

ලිප් බොක්කේ සිට ඉහලට මතු වන්නට තරඟයට ඳඟලන ගිණිදළුවල ආලෝකය පොඩි මැණිකාගේ මුහුන රත් පැහැයෙන් සිතුවම් කර ඇත. හංදියේ රෙදි ඉස්කෝලයට යන කාලේ එහි මේසන් වැඩට අත් උදව් දීමට පැමණි කෙට්ටු රතු හාදයා සමග  හොර රහසේ දීග ආ ඈ එතැන් පටන් නොවිඳිනා දුකක් වින්දාය. මේසන් රස්සාව දැන සිටියද,යකඩ හයියක් ගතේ තිබුනද ගුණපාල අලිම අලි කම්මැළියෙකි. මුලදි මුලදී වත්තක වැටී ඇති පුවක් වල්ලක් පොල් ගෙඩියක් වැනි දෙයක් වහංගු කරගෙන ආ ගුණපාල කල් යත්ම කියත් උදළු , පිහියා පමණක් නොව ගොයම් පාගන කාලයට හාල් මිටිද හොරකම් කරන්නට විය. මුලින් මුලින් මේවාට දැඩිව විරුද්ධකම් පෑවද නිතර හාමතේ සහ ලෙඩ

ගානේ සිටින පුංචි එවුන්ට කන්න දෙන්න වෙන හැටියක් නැති නිසාම ඕ මුණිවත රැක්කාය.

 

‘අබ්බේ… අබ්බේ.. බදගිණියි..’ පුංචි සමන් පැමිණ ඇගේ චීත්තයේ එල්ලෙන්නට විය.

‘පොඩ්ඩක් හිටහන්.. තාත්තට කහටෙකක් දීල උඹට බත්  ඩිංගක් බෙදාලා දෙන්නං..’

 

තේ කහට එකක් කෝප්පයට වත් කල පොඩි මැණිකා සීනි බෝතලය අතට ගෙන් ඉස්තෝප්පු කෑල්ලට ආවාය.

 

“අම්මප මංද මේ මනුස්සයට මොනව වෙලාද කියල… අතට මිටට කීයක් හරි ලැබුනොතිං කෙලින්ම පුදන්නේ රා ගොට්ටකට…ගෙදර ගෑණියෙක් දරුවෙක් ඉන්නව කියල මතක් වෙන්නෙම නැති හැටි මේ මිණිහට..සංසාරේ.. මං ගෙවන කරුමෙක හැටි. දෙමව්පියන්ට දුන් ගින්දර තමා මේ…”

 

වචනයෙන් නොකීවද ඇගේ මූණ පුරා හැමදාම ලියැවෙන පශ්චාත්තාපය එදාද නොඅඩුව තිබුනි. කහට කෝප්පය ගුණපාලට දුන් ඈ සීණි බෝතල ඔහුගේ අල්ලට ඇල කලාය.

 

“ලොකු මත්තය කිව්වා ඇවිත් වත්ත ඩිංගක් සුද්ද කරල යන්ඩ කියල. ..”

 

“මලමු බලමු…” කී ගුණපාළ සීනි ටිකක් ලෙව කා තේ කහට උගුරක් ගිල්ලේය.

 

“බලමු..? මොකද්ද ඒ හරුපේ..? මොකෝ ඔහේ ආණ්ඩුවේ ඒජන්තද? මොනවද ඔහෙට ඔච්චර තියෙන රාජකාරිය..?නිකම් ගං ගොඩේ නඩලං ගහන එකයි හවසට අර රා ගුඩ්ඩගෙ ගුබ්බෑයමටයි රිංගනව ඇරෙන්නෙ වෙන යමක් කරනවෙයි ඔහේ..? පොඩි උන් හාමතේ.. වේලක් කෑවෙත් වේල් කීයක් නම් බඩගින්නෙද..? ඇයි  දළදා හාංදුරුවනේ.. ඔබ වහන්සේටවත් මං මේ මිණිහ නිසා විඳින දුක් කන්දරාව පේන්නෙ නැද්ද..? අනෙ අප්පේ.. මේ මිණිහා එක්ක දීග ඇවිත් මං කරගත්තු නස්පැත්තියක්…”

 

ඈ දෙස් දෙවොල් තබන්නට වූවාය.

 

“මොකද්ද බොල තෝ කියන්නෙ..?”

 

කහට කෝප්පය පොලොවේ ගැසූ ගුණපාල ගුගුරමින් පුටුවෙන් නැගිට්ටේය.

 

“ඈ බොල.. මම හතර මහ නිදං පහල කරන්ඩද තොට..? තොට එහෙනං යන්ඩ තිබුනනෙ අර තෝ ඒ දවස්වල නටපු ගුරා එක්ක.. නොද්දකිං පට්ට් බැල්ලි..යකෝ මම ජීවත් වෙන්නෙ මට ඕන හැටියට.. බොට ඕන නං හිටු නැත්තං පල යන්ඩ..”

 

 

සිරිත් පරිදි එදාත් අඹු සැමි ආරාවුල ඇරඹිනි.

 

“දහක් කෙප්ප ඇදබාලා මාවත් අනාත කලා මදිවට දැන් මේ ළමයි වත් හිඟමනට දාන්නද හදන්නේ…?” ඒ පොඩි මැණිකාය.

 

“කට වහපිය.. මං මට ඇහැක් හැටියට තමා තොපිට කන්ඩ බොන්ඩ දෙන්නෙ..”

 

“ඇහැක් හැටියට!? මං කියන්නෙ නෑ ඇහැක් කම මොකටද කියල.. රටේ ඉන්න පඳුරියන්ට සළකපු හැටි මං දන්නෙ නැතෑ…!!හහ්.. ඇහැක් හැටියට..!! බොරු කිය කිය මගේ රත්තරං බඩු විකුණ විකුණ කල හැටි මං දන්නෙ නෑ කියලද හිතේ..? ”

 

“කට වහපිය..”

 

“කට වහන්ඩ..? මං  කට වහන්නෙ නෑ.. මං කට වන්නෙ නෑ.. ඕව කරන්ඩ හොඳ නං කිව්වටත් කාරි නැහැ..”

 

“වල් හැතිරි….!! තෝ මාව කන්ඩ ආපු යකින්නක්..හිටපිය බොට බැරි කට මම වහන්නම් හිටපිය..!”  කියමින් එක අතකින්  පොඩි මැණිකාගේ කට මිරිකාගත් ගුණපාල අනිත් අටින් ඇයට නොනත්වාම කම්මුල් පහර එල්ල කරන්නට විය.

 

තාත්තාගේත් අම්මගේත් ගාලගෝට්ටියට අත්වැල් අල්ලමින් සමන් සහ මංගලිකාත් බෑඟිරි දී අඬන්නට පටන් ගත්හ.

ක්‍රිකට් ක්‍රිකට්.. ලව්ලි ක්‍රිකට්..

මම ක්‍රිකට් ලෝලියෙකු නොවෙමි.එහෙත්,බටහිර රටවල් වල අප්‍රමාණ කෙණෙහිළිකම් වලට ලක්වෙන මේ පුංචි රටේ, අපේ කොල්ලන් සුද්දන්ට කට උත්තර නැති වෙන්ඩ ඔවුන්ගේ බෝල වලට පිත්තෙන් උත්තර දෙනවිට ඒ ගැන සතුටු වෙමි.ලංකාවේ ජයග්‍රහනය ප්‍රාර්ථනා කරමි. (පරදිනවිට “ඒ තරඟයක ස්වභාවය” යැයි කියා හිත හදා ගන්නට මට හැක්කේ ඒ නිසාය.)

 මේ පුංචි සටහන තබන්නට නිමිති වූයේ පෙරේදා පැවති අපේ ක්‍රිකට් පිළ සහ අපේ අසල්වැසියාගේ රටේ ක්‍රිකට් පිළ අතර පැවති තරඟයයි.යමින් එමින් තරඟය නරඹමින් සනත්ගේ පිති හරඹයත් , මැතිව්ස්ගේ පන්දු යැවීමත් පිළිබඳ ආඩම්බර වූ මමත්,  අපේ පවුලේ සෙස්සනුත් ත්‍යාග ප්‍රදානය කරන අවස්ථාව පැමිනෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේ ‘තරඟයේ වීරයා සනත්ද, මැතිව්ස්ද එසේත් නැත්නම් ලකුණු අනූ ගණනක් රැස් කල අනිත් හාදයාද කියා බලා ගැනීමටය.(ක්‍රිකට් ගැන මෙලෝ හසරක් නොදැන සිටියත් සනත්ලා,සංගා ලා,මහේලලා ගැන සහ තෑගි පිරිනැමෙන්නේ මොන මොන අංශවලටද කියා නම් දනිමි 🙂 )

 පළමුව ඉන්දීය පිළේ නායකයාට ඔවුන්ට හිමි ත්‍යාගය ලබා ගැනීමට නිවේදකයා ආරාධනා කලේය. අඳෝමැයි.. “හූඌඌඌ හූඌඌ..”හඬක් නැගෙන්නට විය..(අනිත් තරඟවලදීත් මෙසේදැයි නොදනිමි)  ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහනයෙන් ඔද වැඩී තිබුනු මගේ සිත කඩා වැටුනි.

මේ මහත්වරුන්ගේ ක්‍රීඩාවයි..එබැවින් ක්‍රීඩකයන් පමණක් නොව, එය නැරඹීමට යන්නන්ද මහත්මා ගතියෙන් හැසිරිය යුතුමය. එදා ඒ හු හඬ ඔවුන් නැගුවේ ඉන්දීය පිළට ඔච්චම් කිරීමට වූවත් ඒ හූ කී නරි රංචුව නොදැන සිටින්නට හෝ නොසිතන්නට ඇති ඒ හූව වැදුනේ මේ ශ්‍රී ලංකාවේ අභිමාණයට බව. තරඟයකදී එකෙකු ජය ගනිද්දී අනෙකා පරාජය වේ. ඒ තරඟයේ ස්වභාවයයි. ප්‍රීතියෙන් ඔද වැඩී ගොස් අපගේ හර පද්ධතීන් අප අමතක කල යුතුද?

අපි මහා අභිමාණවත් ජාතියක් වෙමු.ඒ ජාතියේ අභිමාණය ලෝකයාට වඩාත් පෙන්වීමට මෙවැනි තරඟ අවස්ථාවක් කර ගත යුතුය. බැරි වෙලාවත් මේ තරඟයෙන් ඉන්දීය පිළ ජයගත්තානම්.. මේ නරි රංචුව ශ්‍රී ලංකා පිළටත් හූ කියනවාද?අපේ සනත් එංගලන්ත පිට්ටනි වල එංගලන්තයට එරෙහිව ශතක රැස් කරද්දී සුද්දන් හුන් අසුවලින් නැගිට අත්පොළසන් දෙන්නේ ප්‍රතිවාදියා වුවද අගය කළ යුතු තැනදී අගය කිරීමේ මහත්මා ගතිය නිසා නොවේද? එහෙත් මහා සංස්කෘතියක් ගැන, හැදියාවක් ගැන කතා කරන අපි..?

මත්වරුණි,මේ සටහන ගැන බොහෝ විවේචන තිබිය හැකිය.එහෙත් සිතන්න..අපේ ලාංකික කොල්ලන්ට ඉන්දියාවේදී හෝ වෙනත් රටකදී මෙවන් දෙයක් සිදු වූවානම් අපට කොතරම් වේදනාවක් ඇති වෙයිද? ක්‍රිකට් පිස්සන් සිටින ඉනුත් වැඩි පිරිස නූගතුන් වන ඉන්දියාවේ ක්‍රිකට් ලෝලීන්ගේ තත්වයට අපේ කිකට් ලෝලී ප්‍රේක්‍ෂකයන් පත්විය යුතුද?

 කළිසමක් ඇන්ද පමණින්, ටයි පටියක් පැළඳි පමණින් ‘මහත්මයෙකු’වන්නේ නැත.ලස්සන ඇඳුම් ඇඳ, සායමින් සියළු ළප කැළැල් වසාගත් පමනින් ‘නෝනා කෙනෙකු’ වන්නේ නැත.මහත්මා ගති පෙන්විය යුත්තේ ක්‍රියාවෙනි. අපේ ශ්‍රී ලාංකික අභිමාණය රැඳී තිබෙන්නේ සිංහ කොඩියේ නොව,අප සියළු දෙනාගේ හැසිරීම තුළයි.සුද්දාගේ හැම කුණු ගොඩක්ම කර ගසාගෙන අවසානයේ උන්ටම දොස් නගන අපි,සුද්දා පුරුදු වී ඇති හොඳ ගති සිරිත් ටිකකුත් වැළඳ ගන්නේ නැත්තේ ඇයි?