මගේ..! මගේ..!! නෑ..නෑ.. මගේ…!!!

අමරසිරි පීරිස් මහතාගේ ගීත හොරකම් කර ජනප්‍රිය ගායකයින් දෙදෙනෙක් විසින් රිඟිං ටෝන් වලට විකිනීම මුල් කරගෙන මේ දිනවල යලිත් කතිකාවක් ගොඩනැගිලා තියෙනව ගීතයක සැබෑ අයිතිකරුවන් කවුද කියන එක ගැන.

ගීතයක අයිතිය ඇත්තේ රචකයාට සහ සංගීත නිර්මාපකයාට පමණක්ය කියන නීතිය ඇත්තෙන්ම මතභේදාත්මකයි. භාණ්ඩයක් නිශ්පාදනය කොට ඇසුරුම් කර තිබ්බාට පාරිභෝගිකයින් මිලදී ගන්නෙ නැහැ ඒක ප්‍රචාරනය නොකරනම්. ගීතයත් ඒ වගේ. සිංදුව ලියල තනුව යොදලා,සංගීතය මුසුකරාට වැඩක් නැහැ එය අසන්නන් අතරට ගායකයා විසින් ගෙන නොගියොත්.

රචකයා,සංගීතඥයා සහ ගායකයා යන මේ සාධක තුනේම සාර්ථක එකතුවක ප්‍රථීපලය තමයි ගීතය කියන නිශ්පාදනය පාරිභෝගිකයා අතට යන්නෙ. මගේ අදහස නම් මේ තිදෙනාටම ගීතයේ අයිතියක් තියෙනව. හැබැයි තව කෙනෙකුට ගීතය විකිනීම යන කාරනාවෙදී මේ අයගේ අයිතිය භාවිතා කිරීම ගැන පැහදිලි ක්‍රමවේදයක් තිබිය යුතුයි පාර්ශව තුනටම සාධාරණයක් වෙන ආකාරයට.මගේ..! මගේ..! කිය කිය රංඩු නොවී කවුරු කවුරුත් එකතු වෙලා මේ අවුල විසඳාගන්න එක තමයි හොඳ.

පීරිස් මහතාගේ ගීත හොරකම් කිරීමේ සිද්ධිය නිසා මේ කියන ගායකයො දෙන්න ගොඩක් අයගෙ විවේචනයට ලක් වෙලා තියෙනව.කාලයක් තිස්සෙ මෙයාලාගෙ සංගීතය ගැන විවේචන එල්ල වෙමින් තිබුනා තමයි නමුත් මෑතක ඉඳලා ඒක වැඩියි.

මිනිස්සුන්ගෙ රසවින්දනය විවිධයි තමයි. දේවල් අළුත් වෙන්න ඕන ඒ වගේම හොඳ දේවල් සහ නරක දේවල් දෙකම තියෙන්නත් ඕන. නැත්තන් හොඳ දේවල් වලට පැවැත්මක් නෑ.නමුත් පිටරටවල් වලට ගිහින් ලංකාවෙ මිනිස්සුන්ට සංදර්ශන තියලා මෙහෙ ඇවිත් තමන් ජාත්‍යන්තරයට ගියාය කිය කිය මාධ්‍ය සංදර්ශන දාන එක නම් ටිකක් විතර පල් වැඩක්. පරණ ගීත අරගෙන දඩිබිඩි සංගීත දාලා මිනිස්සුන්ව රවට්ටන්නෙ නැතුව ඒ ගීතවලට සාධාරනයක් වෙන විදිහට වැඩක් කලොත් තමයි හොඳ. තමන්ගෙ ගීත වලට කැමති දෙයක් කලාට කමක් නෑ. අනුන්ගෙ නිර්මාණ වනසන්නෙ නැතුව.

ලංකාවෙන් ජාත්‍යන්තර මට්ටමට ගිය ගායකයින් කීප දෙනෙක් ඉන්නව. මට මතක විදිහට රූකාන්ත ගුණතිලකගෙ ගීතයක් 90 ගණන්වල එංගලන්තයෙ ගීත දර්ශකයකට ඇතුල් වෙලා තිබුනා. සිංහල සිංදු වැඩිපුර නොගැයුවාට ච්ත්‍රාල් සෝමපාලත් ඉන් එක්කෙනෙක්.

අපේ අයත් මුල් කාලෙ හිංදි තණු සහ සංගීතය කොපි කලා තමයි නමුත් ඒ ගීත නිර්මාණවලින් හුඟක් අදටත් අපි රස විඳිනව.එයින් සමහර ගීත අහද්දි ඒ හිංදි තණු කියල හැඟීමක් ඇති නොවෙන තරම්.අන්තිමටම මට කියන්න තියෙන්නෙ කවුරු මොනවා කලත් හොඳ දේවල්වලට ඉල්ලුම වැඩියි සහ කල් පැවැත්ම වැඩියි.

Ekla Chalo Re – Walk Alone….


මේ දිනවල ඉන්දියාවේ තිරගතවන Kahani චිත්‍රපටියේ එන මේ ගීතය කන වැකුනෙ අහම්බයෙන්.කාලයකට කලින් ථාගෝර්තුමාගේ ගෝලයෙක් ලංකාවට ආ වෙලාවක මේ ගීතය ගායනා කරනව රූපවාහිනියෙ පෙන්නුවා. මේ බෙංගාලි ගීතයෙ මේ තරම් අරුතක් තියෙනව කියල මම එදා දැනගෙන හිටියෙ නෑ.(හුඟක් අයට එහෙමයි මම හිතන්නෙ.) ඒ එදා..

අද.. තාක්ෂණය අතින් අපි හුඟක් ඉදිරියට ගිහින්. ඕනම දෙයකට පිලිතුරු අන්තර්ජාලයෙ තියෙනව.
මේ ගීතයෙ මේ virsion එක අහනකොට මට හිතුනෙ අර්ථ රසයට හානි නොකර කොච්චර ලස්සනට මේකට සංගීතය සංයෝජනය කරලා තියෙනවද කියල.

ගීතයට සිංහල අරුතක් දෙන්න මම ගත්තු අසාර්ථක උත්සාහයක් මේ.

සවන් නොදුන්නද කිසිවෙකුත්..
සඟවා ගත්තද ඔබට පිටුපා ඔවුන්ගේ මුහුනු නිහඬවම..
අහෝ ලැබීමක් නොලද්ද..පවසන් හඬ නගා
ඔබේ සිතිවිලි හුදෙකලාවම..

සරණක් නොලැබ, පසුකරද්දී ඔබ මහා වන දුර්ඝයන්..
අහෝ අවාසනව කරපින්නාගත් තැනැත්ත,
පිය නගන් තනිව ඔබ ඔබේ මාවතේ..
නොසිටියද කිසිවෙකුත් දල්වන්න එළියක් මඳකුදු..
මහා ගනඳුරු කුණාටු ඔබ වෙලා ගනිද්දී..
පියනගන් විඳ දරාගෙන ඔබේ වේදනා..