දොස්තර නැන්දා

මගෙ බණ්ඩිය හොඳටම රිදුනම  වැටිලා ඔළුව බිම ඇණුනම

අම්මා මාව එක්ක යන්නෙ

බෙහෙත් ටිකක් අරන් දෙන්න

තිත්ත උනත් දෙන බෙහෙත්

උණ ගැනෙනා එන්නත්

දොස්තර නැන්දා අපිට ආදරෙයි හුඟක්..

වෙද නලාව කරේ දමන් සුදු කබාය ඇඟේ දමන්

“මොකද පුතේ උනේ?”කියා

අහනව හරි කරුණාවෙන්..

තිත්ත උනත් දෙන බෙහෙත්

උණ ගැනෙනා එන්නත්

දොස්තර නැන්දා අපිට ආදරෙයි හුඟක්..

කෑමට පෙර අත සෝදා නිවපු ජලය බොන්න කියා

බිම වැටිලා තියෙන කෑම කෑවොත් ලෙඩ ගොඩයි කියා

නින්දට පෙර දත් මැදීම හොඳම පුරුද්දක්ය කියා

පුංචි අපිට කියා දෙන්නෙ අපෙ මේ දොස්තර නැන්දා..

තිත්ත උනත් දෙන බෙහෙත්

උණ ගැනෙනා එන්නත්

දොස්තර නැන්දා අපිට ආදරෙයි හුඟක්..

The Truth

තරණය කල කලට කන්දක්
බැස්මක්ද හමුවේ
වැටුණු කල බිම
නැගිට යළි යන ගමණ යා යුතු වේ..

සිත රිදවු අය කෙදිනවත් යළි ඒම සැක මුසු වේ..
සැනසුමට ළඟ සිටිය අය මිස
කවුරු වෙද මෙලොවේ..

දුදන ගති ඇති දනන් ළඟ වැඩි ඇසුර හොඳ නැති වේ
නපුර කල අය වෙතට දඬුවම්
සොභාවෙන් ලැබ දේ..

තවම අහන ප්‍රශ්න

තවත් ඇයි හීන දිගේ හොරෙන් හොරෙන් ඇවිත්

අඩි ගානක් යටින් මිහිදන් කරපු සොඳුරු බලාපොරොත්තු,මතක

ගොඩ ගන්න හදන්නේ..?

ගලලා ඉවර නැති කඳුළු ගංගාව

ඔහේ ගලාගෙන යනවා තවමත්.. මනසින් නුඹ දකිනකොට..

හිත ඇතුලෙ කොතැනක හරි මම ඉන්නවානම්,අහසේ අපි හොයපු තරුව තවම දකිනවද?

එතකොට දැනෙනවාද හුඟක් ආදරේ කෙනෙක් ඉන්නව කියලා මේ අහස යටම..?

ඔරලෝසුවේ කටු කැරකෙන දිහා බලලා

නැගිටලාද..? නිදාගත්තද..? නිදන්න කලින් දත් මැදලා කකුල් හේදුවාද?

හැමදාම අහපු මෙකී නොකී ප්‍රශ්න ගොන්න තවමත් අහනවා නොපෙනෙන නුඹගෙන්

“මට ආදරෙයිද?” ඇරෙන්න..

මගේ උපන් දිනේ

දැන් ටික කලකට ඉස්සර
මගෙ අම්මයි අප්පච්චියි
චූටි බබෙක් ඕන කියා
හඳ මාමට කිව්වලූ

අද වාගේ එක දවසක
පුංචි සුරංගනාවියක්
පුළුන් රොදක නිදි කරලා
මාව ගෙනත් දුන්නලූ

තෑගි ගොඩක් ලැබෙන දිනේ
මගේ හිතට සතුට දැනේ
අදලු මගේ උපන් දිනේ
අම්ම උදේ මට කිව්වේ

සුරංගනා කතාවක්??

එකෝමත් එක කාලෙක අම්මා කෙනෙක් එයාගෙ ලස්සන පුංචි දුවයි කටකාර පුතයි එයාලාගෙ තාත්තයි එක්ක හුඟාක් සතුටින් ජීවත් උනාලු. මේ පවුලෙ තාත්තා හුඟාක් ආදරෙන් එයාලාව බලාගත්තාලු. දවසක් ඒ තාත්තා එකපාරටම නපුරු රාක්ෂයෙක් වෙලා පුංචි දුවයි පුතයි උදුරගෙන ගිහින් අහසෙ හැංගුවලු.

අම්මා නපුරු රාක්ෂයා පිටිපස්සෙන්ම හිටියලු කවදහරි ආයෙමත් අර හොඳ තාත්තා වෙලා පුංචි දුවයි පුතයි එයාට ආයිමත් ගෙනත් දෙයි කියලා. අනේ ඒත් එක දවසක් ඒ රාක්ෂයා අම්මාව බිම දාලා පාගලා විෂ දළවලින් ඇනලා එයාව මරා දැම්මලු. ඊට පස්සෙ ඒ අම්මා වලාකුලක් වෙලා තවමත් අහස පුරාම එයාගෙ පුංචි දුවවයි පුතාවයි හොයනවලු.