නුඹට නොතේරුනද..

කඳුල සහ දහඩියෙන්
බොහෝ වෙර වීරියෙන් තනාගත්
මගේ පුංචි මාළිගාව
තුලට වැද සෙවනක් සොයා සා පිපාසෙන් ආ කල
අනේ..! යැයි කියා නවාතැන් දුන් කලට වැද එතුල
ගඩොලින් ගඩොල කොනහමින් ගලවන වග
වටහා නොගතිමි වහලයත් කඩාවැටෙනකල්ම..

වනේ වන සතෙකුවත් සතුරු වී නොආ මට
මාවත් සතුරු කර දුරට වී කෙළිදෙලෙන් හිඳින සඳ
අමා රැස් දහරකැයි කියා
ගොරතර හිරු කිරණ වැද දැවී හළු වී ගිය
පළාපෙත්තා මමමය..

මග යන දැන දැනම අකුලකැයි
කටු ගල් කැබළි ඇනී දෙපතුල් ලේ ගලද්දී..
යන්නට වෙන මගක් ගන්නට සිත යා නොදෙයි
තනිවම දමා නුඹ
ඔතරම් මට නපුරුකම් කල..

Advertisements

ඡන්ද හටන..

කුණු මුල්ලට දමා තිබුනු සිනා මූණ ගනිල්ලා
අටුවේ ලට පට අතරේ මනුස්සකම හොයල්ලා
කාණු දිගේ සොයා ගොසින් දුන් පොරොන්දු ගෙනෙල්ලා
ඔන්න පුතේ තවත් වරක් ඡන්ද හටන ඇවිල්ලා..

කටපුංචන් මදි හරියට කිණිසි කඩුත් ගනිල්ලා
අත්බෝම්බ මදි හරියට යකඩ චේන් ගෙනෙල්ලා
අත දිගඇර වියහියදම් කරන්න අය හොයල්ලා
පාර දිගේ නටවන්නට රූකඩයන් ගෙනෙල්ලා..

අමනාපෙන් හංගාගත් මනාප මෙහෙ ගනිල්ලා
තොරන් ගෙඩි ගෙවල් මදිවට රබානකුත් ගෙනෙල්ලා
මිහිරි මී රසත් සමගින් රස මසවුළු බෙදල්ලා
සියල් සපිරි කේතුමතිය එක රැයකට මවල්ලා..

නුඹ වෙනුවෙන් මගේ පැතුම..

උපදින මතු සංසාරේ
ගෙවෙනා වූ මේ භවයේ..
කවදාවත් කොතැනදිවත් යළි අප හමු නොවුනාවේ..

සාර සොබාවට නොවුනත්
හීන් සීරුවට ගෙවුනත්
සතුට පිරුනු පුංචි ලොවට
කඳුළු කෝඩයක් ගෙනා..

යාදින්නක සේ පසුපස
ඉවසාගෙන සියළු නුගුණ
ඇස් නොපියා බලා උන්නු
පරෙස්සමින් තියාගන්න නීති රීති ගොඩක් දමපු
නුඹේ සමච්චල් සිනහව
නිහඬ සිතින් දරා ගත්තු..

සොඳුරු සිතැත්තිට රිදවා
නුඹ රැස් කරගත් පව් කඳ..
සසර පුරා ගෙවන්න ඇති නිසාවෙන්..
යළිත් වරක් හමුවූවොත්
තව තව පව් පිරෙන නිසා..

උපදින මතු සංසාරේ
ගෙවෙනා වූ මේ භවයේ..
කවදාවත් කොතැනදිවත් යළි අප හමු නොවුනාවේ….

පොඩි හාමුදුරුවන් නැරඹූ පලවෙනි චිත්‍රපටය 2

siddhartha

තම තමන්ට නියමිත ආසනවල අසුන්ගත්තාට පස්සෙ තමයි උන්නාන්සෙලා දැක්කෙ ඇතුලෙ විසිතුරු. විසාල තිරය පුරා දිස්වෙන මුහුදෙ එහෙට මෙහෙට පීනන මාළුවො පුංචි ඈයන්ව හරි අපූරු ලෝකෙකට ගෙන ගියා. තිෂාන්ගෙත් ඒ ලඟටම වෙලා හිටපු පොඩි හාමුදුරුවොන්ගෙත් සංවාදයෙන් මට ඇහුන කොටස තමයි මේ..

“මහත්තයා..මේ මාලු ඇත්ත  එවුන්ද?..”

“නෑ හාමුදුරුවනේ.. ඕක කම්පියුටර් එකෙන් හදපු එකක්..”

“හැබෑට..? මම හිතුවෙම ඇත්ත මාලු කියල..මුහුද ඇතුලෙ හරි ලස්සනයි නේද මහත්තයා..? මහත්තයා ඇත්තට දැකල තියෙනවද මුහුද යට?”

“මමත් ටෙලිවිශන් එකෙන් තමයි දැකල තියෙන්නෙ…”

නිහඬතාවය…

“මහත්තයා”

“ඔව් පොඩි සාදු..?”

“මම මේ ඉස්සරවෙලාම තමයි චිත්‍රපටියක් බලන්ඩ ආවේ..අපි කවුරුවත් මීට කලිං ඇවිත් නෑ..”

“එහෙමද?”

මේ අතරෙ ශාලාව පුරාම laser light ගහන්න පටන් ගත්තා. පුංචි රතු පාට තිත් වහලෙත්  බිත්ති පුරාත් නටද්දි කන පැලෙන්න දාලා තිබුනු සංගීතය කාටවත් බාධාවක් උනේ නෑ.

“මහත්තයා..මේ ලයිට් ගහන්නෙ කොහෙ ඉඳලද?”

“පිටිපස්සෙ උඩ ජනේලෙන් එන ලයිට් එළිය පේනව නේද? එතන තමයි ෆිල්ම් එක පෙන්නන මැෂීම තියෙන්නෙ..එතන ඉඳලා තමයි ඔය ලයිට් ගහන්නෙ..”

“මම දැන්නෙ ඒක දැක්කෙ..ෆෑනුත් දාලා නෙද මහත්තයා? දැන්ම පෙන්නන්ඩ පටන් ගනීද?”

තවත් මොන මොනවදෝ මහ ගොඩක් ප්‍රශ්න..

තුන් වෙනි සීනුව නාද උනා. මෙතෙක් වේලා කටවුට්, පෝස්ටර්,ට්‍රේලර් සහ විචාරකයන්ගේ නිර්දය විවේචනයන්ගෙන් දැකපු “සිද්ධාර්ත ගෞතම” තිරය මත දිගඇරුනා.

The Little Buddha ඉංග්‍රීසි චිත්‍රපටය නරඹලා තිබුනු හැම කෙනෙක්ම වගේ බලාපොරොත්තු උනේ ඒ සමාන හෝ ඊටත් එහාට ගිය කලා කෘතියක්. ආරම්භයේ සිටම ඕලාරික ලෙස ගලා ගිය ච්ත්‍රපටයේ සෝමාරි සිද්ධාර්ථ සහ අනෙකුත් රංගන ශිල්පීන්ගේ අසාර්ථක රංගනයත් දියාරු තිර පිටපත සහ දුර්වල අධ්‍යක්ෂනයත් දෙවරක්ම මා සුවබර නින්දකට ගෙන ගියා. සියළු ලෝක සත්වයා කෙරෙහි අපරිමිත දයා කරුණා ගුණය පැතුරුවා වූද, යුධ ශිල්පයෙහි, කලාවෙහි සහ අර්ථ ශාස්ත්‍රයෙහි කෙල පැමිණියාවූද සිද්ධාර්ථ නාමය ලද ලොව ප්‍රථම නිරායුධ සොඳුරු විප්ලවවාදියා චිත්‍රපටියේ කොතැනකවත් නොසිටි බවනම් නිදිමරගාතේ සිටියත් මට ඉඳුරා කීව හැකියි.  🙂

කලා කරුවා වූ කලි උපකල්පණ ශක්තියෙන් යුතු වූද, සත්‍ය හෝ ප්‍රබන්ධයට තමන්ගේම අර්ථකතනයක් දිය හැකි වූවෙක් යන්න අවිවාදිතයි. ඒ නිසාවෙන්ම ගිහිගෙය හැර යන අවස්ථාව අප දන්නා පරිදි නොවී වෙනත් විදිහකට ඉදිරිපත් කිරීම පිළිබඳ කිසිවෙකුටත් විරුද්ධ විය නොහැක.

විවේක කාලයේදී ටිපිටිප්,විස්කෝතු සමග චොකොලට් කිරිවල රහ බැලූ අපේ පුංචි උන්නාන්සේලාව ආපසු පරිස්සමින් ලොකු හාමුදුරුවන්ට ගිහින් බාර දෙද්දි පුංචි ඇස්වල තිබුනු සතුට අපි හැමෝටම දැනුනා. නච්ච ගීත වාදිතයන්ගෙන් විනිර්මුක්ත විය යුතු වුවද වර්තමානයේ චීවරයට මුවාවී කරන නොපනත්කම් හමුවේ අපේ පුංචි හාමුදුරුවරුන්ගේ චිත්‍රපටි ගමන ශාසනයට ඇවැතක් නම් නොවේමය.

පොඩි හාමුදුරුවන් නැරඹූ පලවෙනි චිත්‍රපටය I

පසුගිය වසරෙ නොවැම්බර මස තදබල විදිහට අසනීප වූ නිසා වෛද්‍ය උපදෙස් මත දින කීපයක් විවේකව ගත කරද්දි ගමේ පන්සල සමග වූ කිට්ටු සම්බන්ධකම දිනෙන් දින වැඩෙමින් පවතිනව.වැඩි කල්පණාවක් නැතිව හිටියත් මම දැනගෙන හිටියා මගේ අසනීප තත්වය නිසා ගෙදර හැම කෙනෙක්ම හිටියෙ හුඟක් බයෙන් සහ වේදනාවෙන් බව. පන්සල අපි හැම දෙනාටම විශාල මානසික සහනයක් ගෙනා තැනක් උනා. වස් කාලය නිසා ඒ දිනවල දිගටම බෝධි පූජා පැවැත්වීමට ලොකු හාමුදුරුවන් කටයුතු සලස්වලා තිබුනත් මං වෙනුවෙන්ම විශේෂ බෝධි පූජා පිංකම් කීපයක්ම සංවිධානය කරන්නට උන් වහන්සේ කාරුණික උනා.

අප්පච්චි පන්සලේ ප්‍රධාන දායකයෙක් නිසා බෝධි පූජා කටයුතුවලට නිතර සම්බන්ධ වී සිටියා. ලොකු හාමුදුරුවොත් වෙද හාමුදුරුවොත් ඇරෙන්න අපි අඳුනන්නෙ කුඩා උන්නන්සේලා හය නමත් ආවතේව කටයුතු කරන සරතුත් විතරයි.තරුණ හාමුදුරුවරු කිහිප නමක් හිටියත් උන්වහන්සේලා එලි පහලියට වඩිනවා බොහොම අඩුයි. අප්පච්චි බෝධි පූජාවට සහභාගී වෙනකොට නොවැරදීම ගිළන් පසට පැණි බීම මෙගා බෝතලයක් අරන් යනවා.ලොකු හාමුදුරුවන්ටත් වෙද හාමුදුරුවන්ටත් පිළිගැන්නුනාට පස්සේ ඉතුරු බීම ටික බෙදාගන්න බැරුව පොඩි පහේ රණ්ඩු සරුවල් එහෙමත් ගියා කියල අපි කාටත් ආරංචි උනා.(සිවුරු පොඩියකින් මුවාකරගෙන ඉන්න හැදුවත් ළමාකම ළමාකම මයි)

ආශ්චර්යට යන ගමනෙදි අපෙ මිදුලත්,තාප්පයත් කිසිදු අනුකම්පාවකින් තොරව කඩා බිඳ දමද්දි ගමේ අනිත් හැමෝම වගේ කටත් අනිත් තැනුත් වහගෙන් ඉන්න සිද්ධ උනේ එහෙම නොහිටියානම් ඉන්න වහලත් ඉතුරුවෙන්නෙ නැති නිසා.(ගමේ මිනිස්සුන්ගෙ මමඃකාරය සහ අසමගිය නිසා වෙච්ච වින්නැහිය ගැන පසුවට )වාහනය පන්සල්බිමේ කැමති වෙලාවක ගාල්කරල යන්න අපට අවසර ලැබුනා.එදාත් වෙනදාවගේ වාහනය නවත්තලා එන්න හදද්දි පුංචි හාමුදුරුනමක් ආවාස ගෙයින් එබිකම් කරනව දැකල අපට මතක් උනේ බීම බෝතලේ රණ්ඩුව.මම හිමින් උන්වහන්සෙ ලඟට කිට්ටු කරලා ඇහැව්වා “හාමුදුරුවනේ හවසට මොනවද ගිළන්පසට ඕනේ..?” කියලා. තියෙන දසන් ටික ඔක්කොම විදාහැරපු උන්නාන්සෙ “නෝන මහත්තයාලට කැමති දෙයක් ගේන්න..” කියලා කියල ලැජ්ජාවෙන් බිම බලාගත්ත.”චොක්ලට් බිස්කට් කමක් නැද්ද?” කියල මම ඇහුවා විතරයි “හා..!” කියල සතුටින් දිලිසෙන ඇස්වලිනුත් කිව්වෙ  ගුරුපාට චීවරයට මුවාවෙලා උන් පුංචි දරුවා.

එදා බෝධි පූජාවෙන් පස්සෙ අප්පච්චිගෙ පැණි බීම ගිලන්පසට අමතරව පොඩි චොකලට් බිස්කට් පැකට් එක ගානේ සියළු දෙනාටම ලැබුනා. කීප දවසක්ම බෝධි පූජාවලට සහභාගි වීමත් ඒ යන හැම වෙලාවෙම පුංචි හාමුදුරුවරුන්ට මොනවාහරි රසකැවිල්ලක් පුජා කරන නිසාත් දැන් අපි පන්සලේ හරිම ජනප්‍රියයි. අපි ගියපු ගමන්ම මල් වට්ටි, පහන්, හඳුන් කූරු රඳවන ලඟටම ලබෙනව.ගිලන්පසට මැංගො නෙක්ටා(ර්) පුංචි බෝතල් ටිකක් ගෙනියපු දවස නම් අමතක වෙන්නෙ නැහැ. වෙනදා වගේ “සිරි සිරි මල්ලක” නැතුව කූඩයක දාගෙනයි එදා බීම බෝතල් ටික ගෙනිච්චෙ. දහම් පාසල ඉවරවෙලා එක උඩ එක ගහල තිබුනු බංකුගොඩක් උඩ තිබුණු කූඩෙ තියෙන්නෙ මොනවද කියල බලන්න ළදරු පුටුවක විතර උස පොඩි හාමුදුරු නමක් ඉස්සි ඉස්සි උඩ පැන පැන යනව මං දැක්කා.

යම් තරමකට යථා තත්වයට පත්වු නිසා ආපහු මේ ගෙන්දගම් පොළොවට අකමැත්තෙන් උනත් පය තබන්න උනා.ගිය සුමානෙට කලින් සතියෙ පන්සලට ගොඩවැදුනම “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” චිත්‍රපටියෙ පෝසටරයක් බණ මඩුවට ගොඩ වෙන තැනම අලවලා තියෙනවා දැකල සරත්ගෙන් නිකමටයි ඇහුවෙ පිංතූරෙ බැලුවද කියලා.

“තරුණ හාමුදුරුවරුනම් ගිහින් බැලුවා. පොඩි උන්නාන්සෙලාව එක්කරගෙන යන්න කෙනෙක් නෑ නෙ මිසී..”

මොනව කරන්නත් ලොකු හාමුදුරුවන්ගෙ අවසරය නැතුව බෑ. පොඩි උන්නාන්සෙලාව  එක්කරගෙන යන්න අවසර ගන්න ලොකු හාමුදුරුවන්ගෙ කුටියට යනකොට ජනෙල් පොලුවල එල්ලිලා,  තියෙන ලොකුම හිනාවෙන් මූනු පොඩි ටික සරසගෙන හිටියත් අවසරය ලැබේදෝ කියන දෙගිඩියාව  නොතිබුනා නෙවෙයි.

” සිදුහත් චරිතෙ එක එක පෘතජ්ජන මිනිස්සු රඟපාන වැඩේට නං මගෙ වැඩි මනාපයක් නෑ මහත්තයා. කොටින්ම මං ඔය චිත්තරපටියට විරුද්දයි. ඒත් ඉතිං පොඩි උන්නාන්සෙලා ආසා ඇතිනෙ. ඔන්නොහෙ කමක් නෑ එක්ක යන්ඩ.”

ලොකු හාමුදුරුවන්ගෙන් මේ වචන ටික පිට උන පරක්කුවට හුරේ පාරක් විතරයි අඩුවකට තිබුනෙ.

පොරොන්දු වෙච්ච සුමානෙ අපට ගෙදර යන්න ලැබුනෙ නැතත් ඊට පස්සෙ සුමානෙ පොරොන්දු වුන විදිහටම හරියට සවස දෙකට සරත් පොඩි උන්නාන්සෙලව සූදානම් කරලා තිබුනා. විනාඩි පහක්වත් යන්නෙ නැති නිසා වාහනේ තදබදය කාටත් අපහසුවක් උනේ නැහැ.

සතියෙ දිනවල සංඝ‍යා වහන්සේලාට නොමිලේ උනත් සති අන්තය නිසා උන්වහන්සේලාට ප්‍රවෙශපත් ගන්න වෙනවා. කලින්ම ගිහින් කළමණාකාරීත්වයට දැනුම්දීලා ප්‍රවේශ පත්‍රත් ආසනත් වෙන් කරගන්නට කටයුතු කල නිසා කරදරයක් නැතුව පොඩි හාමුදුරුවන්ට ආසන පහසුකම් සැලසුනා.

Nonsense..!!!

අකුරු අකුරු..
වචන වචන..
පේලි පේලි මේ මිනිස්සු කොහොම ලියනවද මංදා..!!!
අමාරුවෙන් කියවූවත්..කියන දෙයක් තේරෙන්නෑ..
විටකදි කුණුහරුප වගෙයි..අණ්ඩර දෙමලත් වාගෙයි..
කියන දෙයක් කෙලින් නොකිය..මේ අමාරු වචන දමල
මං වාගේ කෙනෙක් කොහොම තේරුම් ගන්නද මංදා..!!!
Complicate නොකර මේව කෙලින්ම කිවවම ඉවරනෙ..!
කවදාවත් මං කියයිද AC එක කුරුල්ලෙක් කියල..?
වි..කා..ර..!!

මේකෙ  තියෙන  මෙලෝ  දෙයක්  තේරෙන්නැති  මම  වෙනුවෙන්  රතු  තරුව  විසින්  ලියන  ලදී.