සමූහ ගොවිපොළේ පාළන මණ්ඩලයේ නිත්‍ය ඉස්තාල පාලකයා වශයෙන් දෙන ලද පත් වීම ෂුකාර් සීයා මහත් සතුටින් භාරගත්තේය. කලින් ධනවත් ගොවියන් සතුව සිටි එහෙත් දැන් සමූහ ගොවිපොළේ නිළ ගමන් සඳහා වෙන් කරන ලද කප්පාදු නොකළ අශ්වයින් දෙදෙනා ෂුකාර් සීයාට භාර දෙන ගමන් යාකව් මෙසේ කීය. ” මේ අශ්වයින් දෙන්නා වෙඩි බෙහෙත් බලා ගන්නවා වාගේ බොහොම ප්‍රවේශමෙන් බලාගන්න ඕනෑ. කොයි වෙලාවෙත් සූදානමින් තියන්න ඕනෑ. ඕනෑවට වැඩිය වේගයෙන් යන්න හොඳ නැහැ. බරදීන්ගේ අළු පාට අශ්වය හොඳ ජාතියෙ එකෙක්. ගුරි පාට අශ්වය දොන් පළාතට අයිති හොඳ පරම්පරාවකින් පැවත එන්නෙක්. අපට වැඩිය ගමන් බිමන් යන්න නැති නිසා ඉක්මනටම පට්ටි ගස්සන්න දමන්න ඕනෑ. දැන් ඉතින් සීය මේ අශ්වයින් දෙන්නට වගකියන්න ඕනෑ.”
“යාකව් හිතුවද මට අශ්වයින් බලාගන්න බැහැ කියා? මගේ ජීවිත කාළය තුළදී වෙන කිසිම කෙනෙකුට වැඩිය මම අශ්වයින් බලාගෙන තියෙනව. ඇයි මම බලාගෙන තියෙන අශ්වයින්ගෙ ගණන සමහර මිනිස්සුන්ගේ ඔළුවෙ කෙස්වලට වැඩියි.” ෂුකාර් සීයා පුරසාරම් දොඩමින් කීය.
ඇත්ත වශයෙන් ෂුකාර් සීයා මුළු ජීවිතයටම බලාගෙන ඇත්තේ නාකි අශ්වයින් දෙන්නෙක් පමණි. පළමු වන අශ්වයා ඔහු එළදෙනකට මාරු කල අතර දෙවන අශ්වයා නිසා පහත සඳහන් අකරතැබ්බය සිදු විය. මීට අවුරුදු විස්සකට පමණ පෙර අල්ලපු ගමට ගොස් එන අතර මගදී හමු වී අහුකින්ඨිකයෙකුගෙන් ඔහු රූබල් තිහක් ගෙවා වෙළඹක් ගත්තේය. ගණු දෙනුව කරන අවස්ථාවේදී ඔහු වෙළඹ සෝදිසි කොට බැලුවේය. ඈ මහතට සිටියාය. ඇගේ පාට මීයෙකුගේ පාටට සමාන විය. කණක් පහත් වූ අතර ඇහැක් පොට්ට විය. එහෙත් ඈ ප්‍රාණවත් වූවාය. ෂුකාර් සීයා අහිකුන්ඨිකයා සමඟ දවල් දොළහ වන තෙක් කේවල් කෙලේය. හතලිස් වතාවක් පමණ ගණුදෙනුව ගැන තීරණයකට බැසගත් ඔවුහු ආපසු පැමිණ ආයෙත් කේවල් කරන්නට වූහ.
“මේකි රත්තරන් වටිනව. දුවනකොට පොළොව පේන්නෙ නැහැ. ඒ තරම් වේගයෙන් දුවන්න පුළුවනි. හරියටම කුරුල්ලෙක් වගෙයි” අහිකුන්ඨිකයා ෂුකාර් සීයාගේ කබාය අල්ලාගෙන දිවුර දිවුරා කීය.
“බලනව කටේ එක දතක් නැහැ. ඇස් පේන්නෙත් නැහැ. කුර ගෙවිල. බඩ පැත්තට ඇල වෙලා. ඉතින් කොහොමද රත්තරන් වටින්නේ?රත්තරන් කොහොම වුණත් ගත්ත එකාට වගතුවක් වෙන්නෙ නැහැ” යි ෂුකාර් සීයා වෙළඹ තුට්ටුවට අරිමින් කීවේ ඇය ගැනීමට බාධාවක්ව තිබුණු අන්තිම රූබලය අහිකුන්ඨිකයා ලවා අඩු කරවා ගැනීමේ අදහසිනි.
“මොනවටද දත්? දත් නැතිව හොඳට තණ කොල කන්න පුළුවනි. නමුත් වෙළඹ තවම බොහොම තරුණයි. තවම දරුවෙක් වගෙයි. හිටිගමන් හැදුණු ලෙඩක් නිසයි දත් වැටිල තියෙන්නෙ. එක ඇහැක් නොපෙනුනාට තියෙන වැරැද්ද මොකද්ද? ඔය කියන තරම් පොට්ට නැහැ. ඇහේ මස් දළුවක් ඇවිදින්, ඒකයි ඇහැ පේන්නෙ නැත්තේ. සනීප උනාට පස්සේ කුර අළුත් කුර වගේ හිටීවි. ඈ පින්තූරයක් වගේ ලස්සණ වෙන්න පුළුවනි. මොනවටද එච්චර ලස්සණ! මොකද මේකිත් එක්ක බුදියගන්නද! එහෙම දෙයක් නැහැ නේද? ඕනෑ කරන්නෙ කුඹුරු වැඩට නේද? බලන්න ටිකක් මුගෙ හැටි. බඩ මහත් වෙලා තියෙන්නෙ ශක්තියටයි. දුවනකොට පොළොව දෙදරුම් කනව. වැටුනොත් දවස් තුනකින් නැගිටින්න බැහැ. මොකද සීයෙ රූබල් තිහකට රේස් අශ්වයෙක් ගන්නද කල්පනාව! පණ තියෙන එකෙක් නම් ඔය ගණන්වලට දෙන්නෙ නැහැ. මැරිච්ච එකෙක් නම් උගෙ මස් නිකම් දෙනව.”
වාසනාවකට වාගේ අහිකුන්ඨිකයා උණු වන සිත් ඇත්තෙකු විය. තවත් ස්වල්පයක් කේවල් කිරීමෙන් ඉක්බිතිව අහිකුන්ඨිකයා අන්තිම රූබලය අඩු කොට තෝන්ලණුව සීයාගේ අතේ තැබුවේය. අනතුරුව වෙළඹගෙන් වෙන්වීම නිසා ඇති වූ ශෝකයෙන් මඳක් ඉකි ගසා ඇඬූ හෙතෙම දුඹුරු පාට නළලේ රැඳුණු ඩහදිය නිල් පාට කමිස අතින් පිස දා ගත්තේය.
වෙළඹ ෂුකාර් සීයා අතට පත් වූ හැටියේම මෙතෙක් තිබුනු ඇගේ ප්‍රානවත් කම අතුරුදහන් විය. ඇය ගෙන යාමට ෂුකාර් ගත් මහත් වෑයමට නොකැමැත්තෙන් කීකරු වූ වෙළඹ කුරුමිණි කකුල් වැනි සිහින් ගාත් මත වැනි වැනී ගමන් කළාය. ඊට පස්සෙ තමයි අහිකුන්ඨිකයා හුණු කෑලි වැනි දත් විලිස්සා දුර යන ෂුකාර්ට කෑගා කතා කලේ.
“ඒයි සීයේ, මං ඔය වෙළඹට බොහොමාඅදරෙන් සැලකූ බව අමතක කරන්න එපා. මං ඇගෙන් අවුරුදු හතලිහක්ම වැඩ ගත්ත. තමුසෙටත් පුළුවනි එච්චර කල් වැඩ ගන්න. හැබැයි මතක ඇතිව අඩු ගානෙ සුමානෙකට වතාවක්වත් කන්න දෙන්න ඕනෑ. නැතිනම් ජලභීතිකා රෝගය හැදෙනවා. මගෙ තාත්ත රුමේනියාවෙ ඉඳල ගමට ආවෙ ඇගේ පිට උඩටයි. තාත්තට ඇය ලැබුනෙ මොස්කව් නුවර ඉඳල පසු බැස්ස ප්‍රංශ සේනාවෙන්. බොහොම දුර්ලබ වර්ගයේ අශ්වයෙක්.”
ෂුකාර් මිලදී ගත් භාණ්ඩය අමාරුවෙන් ගෙන යන අතර අහිකුන්ඨිකයා තවත් මොනවාදෝ කියා කෑගෑවේය. කළු අහිකුන්ඨික ළමයින් කූඩාරම් වටේ හා අහිකුන්ඨිකයා අසල බිම පෙරළෙමින් කවුඩුපනික්කියන් මෙන් කෑකෝ ගැසූ අතර අහිකුන්ඨික ගෑනු උන්ගේ විනිවිද යන හඬින් කොක් හඬලා සිනාසුනහ. එහෙත් ඒ කිසිවක් ගණන් නොගත් ෂුකාර් වෙළඹත් ඇදගෙන ගමන් ගත්තේය.”මටම පේනවා මං ගත්ත අශ්වයාගෙ හැටි.සල්ලි තියෙනවානම් මීට වඩා හොඳ අශ්වයෙක් ගන්න පුළුවනි.” ඔහු තමාටම කියා ගත්තේය. “අර අහිකුන්ඨිකයා මා වාගේ විනෝදයට කැමති මිනිහෙක්. කොහොම උණත් දැන් මට අශ්වයෙක් ඉන්නවා. මට පුළුවනි මගේ ගෑනි පිට උඩ ඉන්දවා ගෙන ඉරිදා පොළට යන්න.”
එහෙත් ඔහු ගමට ළඟා වන්නටත් කලින් වෙළඹට පුදුම දේවල් සිදුවන්නට විය. පසු පස හැරී බැලූ ඔහු දුටු දෙයින් බිරාන්ත විය. ඔහු මිළදී ගත් බඩ මහත ලස්සන වෙළඹ වෙනුවට ඔහුට දකින්නට ලැබුනේ බඩ එල්ලී වැටෙන, තට්ටම් වළගැසුණු, කන් කඩා වැටුණු,නොන්ඩි ගසන, සතෙකි. පැය භාගයක් තුළදී ඈ සිටිය ප්‍රමාණයට වඩා භාගයකින් පමණ අඩු විය. කුරුසියේ ලකුණ ඇඳ භූතයන්ගෙන් ආරක්ෂා වීම පිණිස මන්ත්‍රයක් ජපකොට ලණුව අතහැරිය ෂුකාර් ගල් ගැසුණාක් මෙන් හිටි තැනම නතර විය. මෙතෙක් පැවැති සුරාමතය මොහොතකින් සිඳී ගියේය. ඇදහිය නොහැකි තරම් ඉක්මණින් සිදු වූ දිරා යාමට හේතුව ඔහු දුටුවේ වෙළඹ වටේ ගොස් පිරික්සා බැලූ පසුවය. දුටුවන් තුළ ලැජ්ජාව ඇති වන තරමට පැත්තකට ඇල වූ, ලණුවක් මෙන් තෙමී සිහින් වී ඇගේ වළිගය යටින් සිහින් හඬක් නගමින් දුගඳ වාතයක් පිට විය. ඒ වාතයත් සමග සිහින් ගොම පහරක්ද පිට විය.” මේ වෙළඹ ගත්තට මට හෙන ගහන්න ඕනෑ” යි කියමින් හිසේ අත් ගසා ගත් ෂුකාර් පෙරටත් වඩා වේගයෙන් වෙළඹ ඇදගෙන යන්නට විය. ඇගේ බඩ ඇතුළේ සිට ගොර ගොර හඬක් නගමින් පිට වන වායුවත් සමග මිශ්‍ර වූ ගොම පහර ගමට එනතෙක් නතර නොවීය. මහත් නින්දාවක් වූ එම ගොම පහර මග දිගේම දකින්නට තිබිණි.
ෂුකාර් වෙළඹගේ කට කලියාවෙන් ඇදගෙන ගියා නම් සමහර විට ගමට යන්නට ඉඩ තිබිණි. එහෙත් ගමට ඇතුළු වූ තැනම තිබෙන, තමාගේ පාත්‍ර මිත්‍ර කොසෑක්වරු කීපදෙනෙක් පදිංචිව සිටින ගෙය ඉදිරියට පැමිණි ඔහු වෙළඹගම මැදින් ඇදගෙන යනවාට වඩා ඇගේ පිට උඩ නැග ගාටමින් හෝ යාම හොඳ යයි තීරණය කෙළේය. ඔහු තුළ හිටි හැටියේම අහංකාරකමක් ඇති විය. වරක් ඉතා දිළිඳු තත්වයක සිටි තමා දෙන් මඳක් තත්වයෙන් ඉහල් නැග, දිරා ගියත් අඩු ගනනේ තමාගේම යැයි කිව හැකි අශ්වයෙකු පිට යාමට ලැබීම ගැනත්, ඒ ගැන පුරසාරම් දෙඩීමටත් ඔහු තුළ ලොකු ආශාවක් ඇති විය. තමා නතර වූ තැන තිබෙන ගෙය ඇතුළේ සිට තමා අඳුනන කොසෑකයෙක් එළියට එන බව හොර ඇසින් දුටු ෂුකාර් ඔහුට ඇසෙන්නට “දැන් ඉතින් උඹේ ඔය විහිළුව නතර කරපන්” යැයි වෙළඹට තරහෙන් කෑගා කීවේය. මෙසේ කියා තෝංලණුව ගත් හෙතෙම තමාගේ ලොකුකම පෙන්වීමට වෑයම් කලේය. මීට බොහෝ කාලයකට පෙර, ඉලන්දාරි කාලේ ‘සෙල්ලම් පෙන්නා ‘ ඇති වෙළඹට ඒ සෙල්ලම් දැන් පෙන්වීමට උවමනාවක් නොතිබිනි. ශෝකයෙන් හිස පහත් කරගත් ඈ පසු ගාත් දෙක එක ළඟ තබා නතර වූවාය. “මගෙ යාළුවන්ට පේන්න ඒ ගොල්ලන්ගෙ ගෙය ඉස්සරහින් වෙළඹගෙ පිට උඩ යන්න ඕනෑ” යි කල්පනා කල ෂුකාර් වෙළඹගේ ඇට පෑදුනු පිට උඩට නැග්ගේය. කාලයක් ගත වන තුරු ගැමියන් අතර පැතිර ගිය කතාවට තුඩු දුන් දෙය සිදුවූයේ මේ මොහොතෙහි දීය. ෂුකාර්ට කවදාවත් සිදු නොවූ නින්දාවකට මුහුණ පෑමට සිදු වූයේද මෙතැනදීය. ඉන් ඇති වූ ජනප්‍රවාදය ඔහුගේ කාලය තුළ පමණක් නොව සමහර විට අනෙක් පරම්පරාවටද පැතිර යන්නට පිළිවන…. ෂුකාර් අශ්වාරෝහකයකුගේ විලාසයෙන් වෙළඹගේ පිට උඩ ඉඳගැනීම පිණිස ඇගේ කොඳු ඇටය උඩ පසුපස තැබුවා පමණි. වෙළඹ පැත්තටඇලවූවාය. ඇගේ උදරයෙන් ගෙරවුම් හඬක් පිට විය. අනෙක් මොහොතේ ඈ වලිගය කෙළින් කරගෙන හතර ගාතයෙන් බිම ඇද වැටුනාය.ෂුකාර්ගේ දෑත දෙපැත්තට ගියේය. ඔහු විසි වී ගොස් ගුරු පාරේ වැඩෙන වල් පැලෑටි උඩ ඇදවැටිණි. තෝන්තු වූ ෂුකාර් වහා නැගිට්ටේය. තමාට සිදුවූ නින්දාව කොසෑකයා බලා සිටින බව හොර ඇසින් දුටු හෙතෙම නින්දාවෙන් නිදහස් වීම පිනිස “යකෝ ඔය දෙඟලිල්ල නවත්වපන්” කියමින් වෙළඹට පයින් ඇන්නේය. නැගී සිටි වෙළඹ අළුත් ස්වාමියාට කිසිම සැලකිල්ලක් නොදක්වා පාර අයින දිගේ වැඩෙන වල් පැලෑටි කන්නට වූවාය.
ෂුකාර් දෙස බලා සිටි කොසෑකයා විහිළු කාරයෙකි. සරදමට කැමැත්තෙකී. වැට උඩින් පැන ෂුකාර් ළඟට පැමිණි හෙතෙම “කොහොමද තමුසෙ අශ්වයෙක් ගත්තද?” යි ඇසුවේය. “අශ්වයෙක් නම් ගත්තා. නමුත් පොඩි වැරැද්දක් තියෙනව. හරිම විසයක් තියෙන බඩුවක්. පිට උඩ නැග්ග හැටියෙම බිම දමනව. මං හිතන හැටියට තාම කව්රුවත් පිට උඩ ගිහින් නැතිව ඇති.තවම හීලෑ නැහැ.” ෂුකාර් කීය.
වෙළඹ වටේ වරක් හෝ දෙවරක් ගිය කොසෑකයා ඒ අතර ඇගේ දත් පිරික්සා බලා බරපතල්කම හඟවා “ඔව්.ඒක නම් ඇත්ත තමයි, තවම හරියට හීලෑ කරල නැහැ. දත්වලින් පෙනෙන හැටියට අඩු ගණනේ අවුරුදු පනහක් විතර ඇති. සමහරවිට උසස් වර්ගයේ වෙළඹක් නිසා කාටවත් හීලෑ කරගන්න බැරි වෙන්න ඇති.” කීවේය.