අමුතු මලගෙදර…

ගම සබරගමුවෙ උනාට රස්සාවට කොලොම් තොටට සම්ප්‍රාප්ත වෙච්ච “දිවාකර”ගෙ හරි නම කාර්‍යාලයේ කිසි කෙනෙක් දැනගෙන හිටියෙ නෑ.(එහෙම්ම කියන්නත් බෑ හැබැයි.HR එකයි Finance එකයි නම් දැනගෙන හිටිය.) මොනවහරි සිද්ධියක් කියල “අනේ සර් මට “ස්ස්ස්..” ගාලා හිතුනා..!” කියල දිව හපාගෙන දාන අමුතු සද්දෙ නිසා තමයිලු “දිවාකර” කියන නම හැදුනෙ. නැතුව මේ අපි දන්න අරුතින් නම් නෙමෙයි.
මෙයාගෙ ගම තියෙන්නෙ විසාල කන්දක් මුදුනෙ.හරි හමන් පාරක් තොටක් නැතිව මේ ගම්මානෙ මිනිස්සු අනන්ත දුක් විඳිනව.මහපාරෙ ඉඳන් හැතැක්ම දහයක් විතර පයින් ගිහින් තව පඩි සීසක් එකසිය විස්සක් විතර නැග්ගම දිවාකරගෙ ගෙදර.මේ වගේ හැම ගෙදරකටම යන්න පඩි අඩුම තරමින් සීයක්වත් නගින්න වෙනව. කොච්චර දුක් කරදර තිබුනත් ගමේ අනිත් අය වගේම තමංගෙ ජීවිතේ සැහැල්ලුවෙන් ගතකල “දිවා” විනෝද සාගරයක්. තමන්ට සහ ගමේ අයට වෙන අකරතැබ්බවල්වල තියෙන හාස්‍ය බව නිසාම(රතුතරුව විසින් “මේ මගේ අයියාකෙනෙක්” මැයෙන් ලියපු සිද්ධියත් මෙයාට වෙච්ච දෙයක් තමයි.) කාර්‍යාලයේ ලොකු පොඩි හැම නිලධාරියෙක් අතරම මොහු ජනප්‍රිය චරිතයක්.

දවසක් හදිසි පණිවිඩේකට “දිවා” ගෙදර ගියා. ආවෙ දවස් කීපෙකට පස්සෙ. අසනීප වෙලා හිටපු  ඥාතියෙක් කෑගල්ලෙ රෝහලේදි අන්ත්‍රාවෙලා. මලගෙදර ගිහින් ආපු “දිවා” කිව්ව කතාව තමයි මේ.

“මම මලගෙදරට ගොඩ වෙද්දි පොඩි අමුත්තක් දැනුනා. ටිකක් විපරමින් බලනකොට තමයි දැක්කෙ මිනියට අවසාන ගෞරව දක්කන්ඩ ආපු අය හැමෝම ඉන්නෙ මිනියෙ එක පැත්තකට වෙන්ඩ. හැම එකාම පොර කකා ඒ පැත්තටමයි යන්නෙ. ඒ පැත්තෙ සෙනඟ වැඩිනිසා මම අනිත් පැත්තට ගිහිං හිටගත්තා. මිනියෙ මූන පේන්න නෑ.. කෙස් ටික විතරයි.ජීවත් වෙලා ඉන්නැද්දි මාත් එක්ක ටිකක් අමනාපෙන් හිටිය නිසා මාව දැක්කම මිනියත් අහක බැලුවදෝ කියල මට හිතුන. කෝකටත් කියල මම අනිත් පැත්තෙන් මිනියට කිට්ටු උනා.මල මගුලයි සර්ලා මිනියෙ ඔළුව පැත්තකට හැරිලා.ඉතිං එන හැම එකාම බෙල්ල හැරවිලා තියෙන පැත්තට යන්නෙ.මං ගමේ එකෙක්ට කිට්ටුවෙලා ඇහුවා සීන් එක.බැලින්නං සර්..මහපාරෙ ඉඳලා හැතැක්ම ගානක් කරගහගෙන ඇවිත් තව පඩිත් සියගානකුත් නැගගෙන එද්දි දෙපැත්තට හෙල්ලිච්ච හෙල්ලිල්ලට බෙල්ල පැත්තකට කඩං වැටිලා.ඕකට අතගහන්න කවුරුත් කැමති වෙලා නෑ.මිනී සාප්පුවෙ එවුංට පණිවිඩ පිට පණිවිඩ ඇරියත් ගමන දුස්කර නිසා උන් මග ඇරල. ඒක නිසා ඔන්න ඔහෙ තියෙන විදිහටම තියෙන්න ඇරියලු.මිනිය වලදැම්මෙත් එහෙම්මයි සර්.මං මැරෙන්ඩ කළියෙං ඔය පාර හැදුනොත් ලොකු දෙයක්..නැත්තං මගෙ මූනත් අවසං වතාවට කට්ටියට බලාගන්ඩ වෙන්නෙ පැත්තෙං තමා..”

මෙහෙම කියපු “දිවා”අන්තිම ප්ලේන්ටි ටිකත් උගුරට හලාගත්තා.

 

Advertisements

මේ අපෙ අයියා කෙනෙක්….

මේ සිද්ධිය උනේ මගේ අයිතිකාරයා හෙවත් හස්බන්ඩ්ගෙ කාර්යාලයේ සේවය කරපු පියන් මහත්තයෙකුට.මේ පියන් මහත්තයට මංගල යෝජනාවක් ඇවිත් තියෙනව. ගැහැණු ළමයා ටිකක් පිටිසර. ඒ උනත් කෙල්ල ලස්සන නිසා මිනිහා උඩින්ම කැමති වෙලා.
පොරොන්දම් එහෙමත් බලලා මංගල්ලෙ තීන්දු කරලා නැකැත් හදලා මංගල්ලෙට දිනත් නියම කරලා, දැන් ඔන්න මංගල්ලෙ දවසෙ පෝරුවෙ චාරිත්‍ර ඉවර වෙලා ජෝඩුව අමුත්තන්ට කතා කරනවලු.(ඒ කිව්වෙ වඳිනවාලු. මඟුල් දවසෙ මනමාල ජෝඩුවට එපාම කරපු වැඩේ හතර අතට නැමි නැමී වැඳිල්ල තමයි.කොන්ද කැඩෙනව අප්පා..)
මේ වෙලාව වෙනකොට අපේ කතානායකයාත් මඳ පමණින්ලු. ආපු අමුත්තන් අතරෙ තරුණයො පස් දෙනෙක් විතර හිටියලු. දැන් මනමාලියි මනමාල මහත්තයයි මේ තරුණයන්ට කතා කරනව. මනමාලි කියනව..”මේ අපෙ අයියා කෙනෙක්”එතකොට මනමාල මහත්තයා “අයියෙ..” කියල හතරට පහට නැමිලා වඳිනවලු.ඔහොම ගිහින් “අයියලා” කීප දෙනෙකුටම ජෝඩුව වැන්දාලු. අයියලා කිව්වට මොකද මේ කට්ටිය සෑහෙන්න තරුණ පාටලු.
මංගල්ලෙන් කාලෙකට පස්සෙ තමයි මිනිහට තේරුම් ගිහින් තියෙන්නෙ මනමාලිට අයියලා උනාට මෙයාට වඩා ඒ කොල්ලො ටික අවුරුදු කීපයක්ම බාලයි කියල. මොකද අපේ කතානායකයා ඒ වෙන්කොට වයස අවු: හතළිහකට විතර කිට්ටු “තරුණයෙක්” මනමාලිට වයස අවු: විසි ගනනක්.