අපේ ගෙදර දඟකාරී

සමනලයෙක් වගෙ අහිංසකයි
මලක් වගේ හැඩයි කදිමයි
චූටි නංගිව දකින කවුරුත් කියන්නේ එහෙමයි…
එයාගේ දඟ වැඩ දන්නේ ගෙදර අය විතරයි

අම්මගේ සාරියක් ඇඳන්
පාසැලක් දමයි තනියෙන්
වැඩ නොකර දඟ කරන ලමයින්ට හරි සැරයි ඈ නම්

මගේ කාඹරයට රිංගාලා
පොත් සියල්ලම ඇද දමලා
අකුරු ලියනව කියා සිතලා කුරුටු ගා දමලා
අහිංසක ලෙස හිනා වෙන්නේ ටිකිරි දත් පෙන්නා

අම්මගෙන් ගුටියක් වැදුනොත්
තාත්තා පොඩ්ඩක් සැර උනොතින්
අඬාගෙන විත් තුරුළු වෙයි මට පුංචි දඟකාරී

දොස්තර නැන්දා

මගෙ බණ්ඩිය හොඳටම රිදුනම  වැටිලා ඔළුව බිම ඇණුනම

අම්මා මාව එක්ක යන්නෙ

බෙහෙත් ටිකක් අරන් දෙන්න

තිත්ත උනත් දෙන බෙහෙත්

උණ ගැනෙනා එන්නත්

දොස්තර නැන්දා අපිට ආදරෙයි හුඟක්..

වෙද නලාව කරේ දමන් සුදු කබාය ඇඟේ දමන්

“මොකද පුතේ උනේ?”කියා

අහනව හරි කරුණාවෙන්..

තිත්ත උනත් දෙන බෙහෙත්

උණ ගැනෙනා එන්නත්

දොස්තර නැන්දා අපිට ආදරෙයි හුඟක්..

කෑමට පෙර අත සෝදා නිවපු ජලය බොන්න කියා

බිම වැටිලා තියෙන කෑම කෑවොත් ලෙඩ ගොඩයි කියා

නින්දට පෙර දත් මැදීම හොඳම පුරුද්දක්ය කියා

පුංචි අපිට කියා දෙන්නෙ අපෙ මේ දොස්තර නැන්දා..

තිත්ත උනත් දෙන බෙහෙත්

උණ ගැනෙනා එන්නත්

දොස්තර නැන්දා අපිට ආදරෙයි හුඟක්..

මගේ උපන් දිනේ

දැන් ටික කලකට ඉස්සර
මගෙ අම්මයි අප්පච්චියි
චූටි බබෙක් ඕන කියා
හඳ මාමට කිව්වලූ

අද වාගේ එක දවසක
පුංචි සුරංගනාවියක්
පුළුන් රොදක නිදි කරලා
මාව ගෙනත් දුන්නලූ

තෑගි ගොඩක් ලැබෙන දිනේ
මගේ හිතට සතුට දැනේ
අදලු මගේ උපන් දිනේ
අම්ම උදේ මට කිව්වේ

සමනළයා..the Butty

ළ : එක මලක්නෙ පිපිලා තිබුනේ

මගෙ මල් වත්තේ රෝස ගහේ

කොහොමද මේ තව අමුතු මලක්

පිපී තිබෙන්නේ එක ඉත්තෙ..?

 

අ: චූටි දුවේ තව ඩිංගිත්තක්

ළඟට ගිහිල්ලා බැලුවෝතින්

පෙනෙයි අපූරුව පොඩි සමනළයෙක්

පැණි උරනා හැටි රස කරමින්..

 

ළ : ඇත්තයි මං  රැවටුනු තරමක්

මේ හැඩ ලස්සන සමනළයෙක්

කොහෙන්ද හැඩ වැඩ මෙයාලා එන්නේ

කියාල දෙන්නකො දන්නවනම්

 

අ: ඉන්නව නම් දඟ නොකර ගතී

වාඩිවෙලා මගෙ ලඟින් නිතී

මගේ පුංචි දෝණී හස්නී

එය නම් කියලා දෙන්න හැකී

 

ළ : මගෙ හොඳ අම්මා කියන දෙයක්

අහන්නැතුව ඉන්නෑ මම නම්

දඟක් නොකර අහගෙන ඉන්නම්

කියන්න මට නැහැ ඉවසිල්ලක්..

 

අ : සමනල් අම්මා සතුටු සිතින්

ගහක් සොයාගෙන ඉගිල ගිහින්

පුංචි පුංචි බිත්තර ගොන්නක්

දමන්නෙ කොලයක යටි පැත්තෙන්

 

බිත්තර පුපුරා ටික දවසින්

එන්නේ පුංචිම පණු පැටියෙක්

එයා හදාගෙන පුංචි පැසක්

ඉන්නව හැංගී තටු එනකන්

 

ඒ පැස පුපුරා ටික කලකින්

දේදුනු පාටැති සමනළයෙක්

එලියට එනවා බලන්න ලස්සන

සොබා දහම් මව හැඩ කරමින්

 

ළ: මටත් තටු දෙකක් එනවානම්

මේ වගෙ ලස්සන වෙනවානම්

ආසයි අම්මේ ඉගිලී යන්නට

මලින් මලට රස පැණි උරමින්

 

අ: මගෙ පොඩි දෝණී හරිම හැඩයි

ඉගිල්ලෙන්න නිසි කාළය එයි

හොඳ ගති ගුණයෙන් රුව බබළවමින්

එතකල් කාළය ගෙවනු හොඳයි..