පුලන්නියකගේ මංගල සිහිනය..

තරු කැට ගෙන අමුනාලා
මාලයකට මං
ගෙලවට පලඳා හැඩ වෙන්නම් ඔබ එනවානම්..
සඳ පළු ගෙන පළඳාලා.. තෝඩුවකට මං..
දෙකනේ ලා සැරසෙන්නම් ඔබ එනවානම්..

දුහුල් වලා පට ඉරලා මංගල සළුවක් වියලා
කඳුලුවලින් ගෙතු මල් දම දෑතේ පටලා
කැන්දන් යන්නට නුඹ එනදා
සැරසී ඉන්නම්..

ඇතෙක් බරට එකතු කරපු
මනුස්සකම ළඟට මහරු
නැති බැරිකම දෑවැද්දට
මං ගෙන එන්නම්..
හැමදාමත් නුඹ ලඟින්ම නොසැලී ඉන්නම්

හිස් නැති මිනිසෙකුට ලියූ කව..

මගේ දුකට කවදාවත් හිනා නොවුනු
නුඹට හැකි පමණින් මගේ හීන හැබෑ කරපු..
හිස් මිනිසුන් මැද නෙළුම් මලක් සේම පිපුනු
අන් කෙනෙක් වේද මම මා විලසින්ම දැකපු…

කළු කපා අඳුරේ
හඳ එළිය යැයි රැවටිලා..
ළදැරියක සේ දිවගිය..මගේ නුහුරු බව දැන දැන
දෙපය පැකිලී ඇද වැටුනු කල
නැගී ඉන්නට දෑත දිගු කල නුඹ..

මැකී යා නොදී අතීතය සිත්තමක් සේ..
ගොතා ජීවිතය..සරල හැඩ ගෙත්තමක් සේ..
අනාගතය තුල දැහැමි කුළවත් පුතෙකු සේ..
වෙසේවා නුඹ යෙහෙන් මගෙ නෙත් මානයේ..

ඔබේ ලොව සොයා ඔබ යන්න..

රාත්‍රියේ අහස පුරා..තරුකා පායලා
ඔබේ නෙතු වගේ දිලේ ම’දෙස බල බලා..
සිහින තොටක තනිවෙලා..ජීවිතේ නැවතිලා
නොහිම් නිසල ආදරේ වේදනා නිවා..
වේදනානිවා..

පෙනෙන පෙනෙන මානයේ.. රූ රටා මවා..
ඇසෙන ඇසෙන මානයේ..ගී ලතා ගොතා..
දැනෙන දැනෙන මානයේ..සුවඳ විසුරුවා..
දුරින් දුරට පාව යන්න ඔබේ ලොව සොයා..

හද හැඟුම් පියුම් විලේ..බිඟුන් කලඹවා..
දුරක සිට ඇවිත් ගියා යන්න පාවෙලා..
සිහින ගෙනෙන යාමයේ..නෙත’ග පොඟවලා..
දුර සිටන් සිඹිමි සිතින්..මගේ නොවන නිසා..