එකම එක වාරයක්
නිල් තුරු සළුව යටින් නිදහසේ පියනගන්නට ඇත්නම්..
තරු වියනක් යට සඳ සේළයට ගුළි වී සැතපෙන්න ඇත්නම්…
පියාපත් යුග විදා එකම එක වාරයක් විසල් නුඹ ගැබ පුරා
පියාඹා යන්න ඇත්නම්..
මහ වාළුකාවේ දිය පොදක් වී
මේ මහපොළොව සිඹ්න්නට ඇත්නම්..
මහා ගිරිකුළු මුදුනකට නැග
මේ ලොවට කොයි තරම් ආදරේදැයි කෑගසා කියන්නට මට ඇත්නම්….
c4, බින්කු, චානක ,අනුරාධ, කුමාර සෙනෙවිරත්න සහ හර්ෂ, ඉස්සර වෙලාම ස්තූති කරන්න ඕන ඔයාලා හැමෝටම. එල්ල කල ගල් සහ මල් වලට. එක එක්කෙනා එක එක විදිහට මේ නිසඳැස අර්ථකථනය කරල තිබුනා සහ තේරුම් අරගෙන තිබුනා.එක එක මානයන් වලට ගිහින් මේ නිසඳැස දිහා බලලා තිබුනා.මගේ පෝස්ට් එකකට ලැබුනු වැඩිම කමෙන්ට්ස් (13) ගනන ලැබුනෙත් මේකට.
හැමෝගෙම අදහස් සමග එකඟ වෙනවා සහ ඒ හැම එකක්ම අගයත් කරනවා.මම මේ නිසැඳසින් කියන්න උත්සහකලේ අපි එකමුතු වෙමු කියලයි.. ‘කොඩිය යටට එන්න‘ කියල අදහස් කලේ ජාති,ආගම්,කුල මෙකී නොකී හැම දෙයක්ම අත ඇරලා අපි එකතු වෙමු, ඊට පස්සේ අපේ පෙදු සතුරන්ට (LTTE ඇතුළු අපේ රටට විරුද්ධ හැම කොටසකටම) එරෙහිව නැගී ඉමු කියන එකයි මම අදහස් කලේ.සතුටුයි හැමෝම මේ නිසඳැස ගැන දක්වපු අදහස් වලට.මේ සහයෝගය මේ විදිහටම ඉදිරියටත් බලාපොරොත්තු වෙනව.
එන්න මේ කොඩිය යටට..
මෙතන හරි හෙවනයි
පක්‍ෂ,පාට,කුළ මල නැති
ජාති භේද කිසිවක් නැති
රොක් වෙන්න මේ කොඩිය යට
හරිම අභිමානයක් දැනේවි
ගත පුරා දුවන ලෙය උණුසුම් වේවි..
ඔද තෙද විදා රුපුන් මැද
ඉන්ද්‍රඛීළයක් සේ නැගී සිටින්නට..
එන්න මේ කොඩිය යටට එකා වන්ව
බස් එකේ හරකෙක් කථාව දැක්කම මටත් පොඩි කථාවක් මතක් උනා. මේක අපේ චූටි නංගිගෙ ඔෆිස් එකේ පියන් මහත්තුරු දෙන්නෙක් කරපු වැඩක්. බදුල්ල දිස්ත්‍රික්කයෙ ලංකා බැංකු ශාඛාවක නංගි වැඩ කරන්නෙ. ටිකක් දුෂ්කර පළාතක්. බැංකුවෙ වැඩ කරන ගෑණු ළමයෙක් අළුත් මොබයිල් ෆෝන් එකක් අරගෙන. ඉතිං මේ ළමයා ෆෝන් එක මේසෙ උඩ තියල ගිය වෙලාවක පියන් මහත්තුරු දෙන්නා ෆෝන් එක අරගෙන දෙමල මනුස්සයෙකුට කියල “සුරංගනීට මාළු ගෙනාවා” සිංදුව කියවලා රිංග් ටෝන් එකට දාලා.. හවස ගෙදර යනකොට බස් එකේදි දැන් ෆෝන් එක රිංග් වෙනවළු මහ හයියෙන්.. දෙමල මනුස්සයෙක් දෙමල ආරෙට “සුරංගනීට මාළු ගෙනාවා” සිංදුව කියනකොට ඉතිං හිතාගන්න පුළුවන්නේ…!!!! දැන් ඒ ගෑනු ළමයා අකමැතිම සිංදුව “සුරංගනීට මාළු ගෙනාවා” ළු.
පාර කියනවද මට තනි තරුවේ.. ගොම්මන් යාමේ ඔහු හමු වන්නට..
පාලු අඳුර මැද හදේ කවුලු හැර.. ඔහු නිදනා සුව යහන් ගැබේ..
අතීතයේ බැඳි ප්‍රේමය මනරම්.. වැව් දිය මත කළ කල් වැනි සිතුවම්
හව් හරනක් නැති ගව් ගනනක් දුර ඇවිද යන්න මට පාර කියනවද
ගනඳුරු අහසේ සඳට තනි රකින..තනි තරුවේ..
මාවත අයිනේ සක්මන් මලුවේ..තනි මග තනිවම සක්මන් කරනා
උමතු සිතේ ගොලු හැඟුම් කියන්නට පාර කියනවද
සඳට මුවා වී ලොවට මතක නැති..තනිවම හිනැහෙන තනි තරුවේ..
සුදු සඳ සේළය එලලා
ඒ මත රන් තරු ඉහලා
ඔබට වඩින්නට පළසක් හදා තියන්නම්..
හිරු රැස් කෙන්දක් ගලවා
පිනිබිඳු එකිනෙක අමුනා
ඔබේ ගෙලේ පළඳන්නට බලා හිඳින්නම්..
මල් ගෙන මී පැනි පුරවා
වළාකුලක එය ඔතලා
ඔබේ පවස නිවාගන්න තියා තියන්නම්..
ඔබේ නමින් කවි ගොතළා
කොවුල් නදින් තණුව දමා
ගතේ සිතේ ගිම් නිවන්න ගීත ගයන්නම්..
මගේ හදින් ඔරුව සදා
ආදරයෙන් රුවළ වියා
පරිස්සමින් දිවි ගඟුලින් එතෙර කරන්නම්..
දුරක සිට නුඹ ඇවිත් මගේ ළඟ දැවටිලා
මගේ හිත නුඹ ළඟම තියාගෙන මට නොදී..
දඟකාර සිනවෙන් තවත් සරදම් නොකර
ඉතින් කෝ දෙන්න
මගේ සිත යළි මටම..
යන අතර ජිවිතේ දුර මගක් ගෙවාගෙන
අතරමගදී හමු වූ යාත්‍රිකයාණෙනී..
කොහි සිට ආවාද නුඹ, කාටවත් නොපෙනී
මා මෙතෙක් දකිමින් නිදා උන් පාට පාට
සිහිනයට..?
අළු පාට තවරාපු කඳුළු විතරක් පිරිණු
මගේ මේ සිහිනය නැහැ සොඳුරු..
ඒ උනත් හැමදාම දකින මේ සිහිනයෙන්
අවදිවන්නැයි කියා කියන්නට නම් එපා..
ලෝකයක් පිරෙන්නට දෙන්න කිසි දෙයක් නැති
ලෝකයම පිරෙන්නට ඉල්ලන්න කිසිත් නැති
මට, නුඹ සිහිනයක්මැයි..
කල්ප කාළයක්වත් පෙරුම් පුරා
ලබා ගනු බැරි නමුදු
බලා ඉන්නම් නොපෙනී යන තුරුම මා පසුකර
තව තවත් ඈතට..
බලාගෙන තරු දිලෙන නිශාවේ අහස දෙස
පා කර ලොකුම ලොකු සුසුමක් ඒ අහස දිහාවට
ආයිමත් මම නුඹට නෑ කවි ලියන්නේ….
අයිති නැති කිසි දෙයක් නිසා ලොබ නොබැඳි සිත
ඇයි කියා දන්නෙ නැහැ නුඹ පසු පසම විතරක්
දුවන්නේ..
මට සමාවෙන්න..
ආයිමත් මම දෙන්නෙ නැහැ මගෙ හිතට ආදරේ
වෙන්න නුඹට..
නුඹ කවදාවත් මගේ නෙමෙයි…
ඉතින්..,
හුඟක් දුරක ඉඳන්
කාලෙකට පස්සේ ඔබ ඇවිත්
සැපක් සනීපයක් නැති
වැඩි වරදකුත් ඒත් එහෙමටම හොඳකුත් නැති
කාළයේ වැල්ලෙන් වැසී ගිය..
සුන්දරත් නැති අසුන්දරත් නැති
මතකයන් ගොඩ අරන්..
දැන් ඉතින් අපි වෙන් වෙමු
කොහේදී හරි..කවදා හරි
යළිත් අපි හමුවෙනකල්..