ඇවිල්ල ඇවිල්ලා…..

 

 

තවත් එක මාසයක් නොදැනීම ගෙවී ගිහින්. හැම ගහක් කොලක් ගානෙම මල් පිපිලා ඵල බර වෙලා, වසන්තයට වඩින්න පාර කියනවා. කොහේදෝ ඉඳගෙන කොහෙක් ‘කුහූ කුහූ’ ගාන්නෙ  එරබදු මල්වලට ‘දැන් හැංගිලා හිටියා ඇති,එළියට එන්න..’ කියන්නා වාගේ. ඉඳ හිටලා වහින වැස්ස, බක් මහ අකුණු එක්කලා කඩා වැටෙන අනෝරා වැස්සට පෙරහුරුවක්වත්ද?

ඉස්සර වගේ රබං සුරල් මැද්දෙ නෙවෙයි කප්පරක් තරම් වන FM රේඩියෝ වල කණ පැලෙන්න දාලා තියෙන සිංදු බිංදු මැද්දෑවෙ මේ පාරත් සිංහළ අවුරුද්ද වඩිනවා. අප්‍රේල් නිවාඩුව එනකල් පුංචි එවුන් ඇඟිළි ගනිනව ඇති ඉස්සර අපි ඉස්කෝලෙ ගිය කාලෙ වගේ. අළුත් ඇඳුම් ඇඳලා උජාරුවට රවුමක් යන්න, කැවුම් කොකිස් පිරුනු පිඟන් අරං අහල පහල ගෙවල්වලට යන්න තවමත් මතකයි ඒ කාලෙ අපි ආසාවෙන් බලං හිටිය හැටි. අන්තිමට දවස ඉවර වෙනකොට පුංචි බඩ ගෙඩි පිරිලා.. හුස්ම ගන්න බැරි තරමට. ආදරේට හැම ගෙදරකින්ම මොනව හරි කඩචෝරුවක් එක්ක රසම රස බීම වීදුරුවක් ලැබෙනවනෙ…එපා කියන්න නම් දිව නැමෙන්නෙ නැහැ කීයටවත්. අපේ ගෙදර පහළ හිටිය ලංසි පවුලක්..(තාමත් ඉන්නව) එයාලා හරි කැමතියි සිංහල කෑම වලට. ඉතිං හැමදාම ලොකුම අවුරුදු පිඟාන අපේ ගෙදරින් යැවෙන්නෙ එයලාට. තවම එහෙමයි. තාම මතකයි  Uncle Debond හදල දෙන බීම එක. එයා  Chef කෙනෙක් නිසා රහට එක එක ජාතියෙ කෑම බීම හදන්න එයාට පුළුවන්. හැබැයි දැන් නම් ගියාම ලැබෙන්නෙ පැණි රහ සෝඩා වතුර වීදුරුවක්. ආ තව දෙමළ පවුලක් හිටියා, ඒ පවුලෙ වයසක ආච්චි කෙනෙක් හිටිය. අපි කිව්වෙ පේත්‍යා ආච්චි කියල. එයා සල්ලි දාලා තියෙන කළු පාට පෙට්ටිය ඇරෙන්නෙ සිංහළ අවුරුද්දට විතරමයි. අපිට රතිඤඤ ගන්න සල්ලි දෙන්න. අප්පච්චිගෙයි, ලොකු අප්පච්චිගෙයි ළඟම යාළුවෙක් හිටියා Haneefa Uncle, නොවැරදීම අපේ ගෙදර සිංහල අවුරුද්දට එයාට දවල් කෑම. හරිම සුන්දරයි. මතක් වෙද්දි ඒ කාළය ආපහු  එනවා නම්..! කියලා හිතෙනව.

 ඔය මම කිව්වේ මීට අවු. 15 කට විතර කළින් අවුරුදු ගැන. දැන් කාළය හරිම වෙනස්නෙ. කොංක්‍රීට් වනාන්තරයෙ අවුරුදු සිරි තියෙන්නේ කඩ සාප්පු ඇතුලෙ විතරයි. අවුරුද්ද මතක් කරන්නෙ තිස්සෙ දෙවේලෙ කතා පෙට්ටියේ සහ රූප පෙට්ටියෙ මෙලෝ සිහියක් නැතුව යන වෙළඳ දැන්වීම්. කඩ පිල් ගානෙ Sinhala and Tamil New Year Sale කියල එල්ලලා, වේලි වේලි තියෙන පරණ බඩු මුට්ටු ටිකක් හොඳ ගාණකට විකුනගන්නවා. ඒවා ඇතුළට රිංගලා, පොර කකා ජීවිතේ පළවෙනි වතාවට වගේ පුළුවන් හැම කුණු කන්දලක්ම අපිත් අරගන්නව.දැං ඉස්සර වගේ පිටි කොටාගෙන, හලාගෙන මහන්සිවෙන්න ඕන නෑ. ජාති ජාති කැවුම් කොකිස් පැකට් කරලා තියෙනව.ඕන යහමින් සල්ලි ටිකක් විතරයි. ඇත්තෝ ගති, කති බොති. හංදියක් හංදියක් ගානෙ රතිඤඤා ලෑලි. අද එක ලෑල්ලක්  ඇරියොත් හෙට ඔන්න ඊට ටිකක් එහායින් තවත් එකක් ඇරලා.

කොහොම හරි අම්ම අප්පච්චිලාට තෑගිත් අරං අතිං කටිං මළුත් උස්සගෙන පෝළිමේ වේළි වේළි ඉඳලා (කෝච්චියේ යනවනම් නොමිලේ හොඳ Massage එකක් අරං) ගෙදර ගියා කියමුකො. ඊට පස්සෙන්දා දවසම මහන්සියට නිදි. අම්මා කෑ ගහල කෑ ගහල නැගිට්ටවල නොනගතය ලබන්න කළියෙං ගෙවල් වලට ගිහින් එන්න කියද්දී ‘කෙහෙල් මල් කෑම පිඟන්..ඔය මිනිස්සු අද විතරයැ කන්නෙ..’  කියල හිතෙනව. ඉතිං යන්න කියන හැම ගෙදරකටම ගිහිං ටිකක් සාමීචියෙ යෙදිල (සතුටු කියන වචනෙ ඉවත් කලේ හිතලමයි.) බඳින්නෙ නැද්ද සහ කොළඹ කොහොමද? රස්සාව, පඩිය වගේ කථා බහකින් පස්සෙ යාංතං ගේ ඇතුළට රිංග ගන්නව.

කොහොමිං කොහොම හරි අවුරුදු දවස් දෙක තුන ගෙවිල යනව, ඊට පස්සෙ ආයෙමත් පුරුදු විදිහට කාළය ගෙවිල යනව.  වර්තමානයේ අපි අපේ අවුරුද්ද  සමරන ආකාරය ගැන විවේචනය කරන්න බැහැ. අපි මේ දුවන්නෙ රේස් එකක්. ඒ රේස් එක දුවන අතරෙම අපේ දෑ මේ තරමින් හරි අරං යන එකත් ලොකු දෙයක්නෙ. ඒ උනත් හිතට දුක, මේකට ආරෝපණය වෙලා තියෙන වාණිජත්වය ගැන. හුඟක් කොම්පැනිවලට සිංහළකම හා මේ ශ්‍රී ලංකාව කියල මතක් වෙන්නෙ අප්‍රේල් මාසෙට විතරයි.

ශ්‍රී ලාංකික සිංහළ අපට විනෝද වෙන්න සතුටු වෙන්න තියෙන උත්සව අතේ ඇඟිලි ගණනටත් අඩුයි. ඒ නිසා මේ උත්සව සමයෙ ඇති තරං විනෝද වෙන්න. හැබැයි, මේ සටහන කියවන අයියලා මල්ලිලාට බොහෝම ආදරයෙන් මං කියන්නෙ, රතිඤඤා සමග ගණු දෙණු හරිම පරිස්සමින් කරන්න. ගිණි කෙළිය අන්තිමට මල කෙළියක් වෙයි නැත්නම්. රහමෙර සමග ගණු දෙණු නොකරන තරමටම හොඳයි. එහෙනම්.. අපිට සුභ පතන්න අළුතින්ම උගන්නලා තියෙන ක්‍රමයට හැමෝටම සුභ පතලා මේ සටහන අවසන් කරන්නම්.

 

                 ‘සුභ අළුත් අවුරුද්දක් වීවා…!’

 

 

 

 

 

 

 

 

 

 

 

දෙන්න මට උත්තර …

විකිනෙන ස්ත්‍රීත්වය

කිසිදු විළි ලැජ්ජාවක් නැතිව

සිරස,රන් වාහිනී

විකුණන පළියටම

දමා අඩුම ළංසුවට

ඇයිද මගෙ සොයුරියේ

විකිනෙන්නේ දැන දැනම,

ලාභ වෙළඳ භාන්ඩයක් වී….?

උතුමාණෝ

මේ දිනවල බස්නාහිර පළාතෙ තාප්ප,  බිත්ති

සහ ලයිට් කණු වල එල්ලී සිටින සද්ගුණවත්,

අවංක ජනතා පුත්තරයන්ට උපහාර පිණිසයි….

 

උතුරු සළුව ළිහී වැටී

උතුමාණෝ නිරුවතින්..

සිව් වෙනි සිල් පදය බිඳී

එතුමාණණ්ගේ අතින්..

 

සියල් සතට නිවන් යන්න පාර කියන අදහසින්

තව් තිසාව මවනවාලු කොලොම් පුර

ගෙවල් මැදින්

තාප්පවල බිත්ති දිගේ සිනා සිසී සීරුවෙන්

සුදට සුදේ එතුමාණෝ පින් පාටින් බබළමින්..

 

සභා තොමෝ වෙත යවන්න මනාපයක් දෙන ලෙසින්

උතුමාණෝ ඉල්ලනවා සිහින සාප්පුව ඇරන්..

ඇල් වතුරෙන් කුස පුරවන් ආපු සෙනඟ පැල්පතින්

එතුමා හට ජය පතනව මඳ පමණක් ලත් සැණින්..

 

නාවර පිරි පුංචි පැටව් සිප ගනිමින් සෙනෙහසින්..

මැදුරට ගොස් සැනහෙනවා විෂ නාසක දියරයෙන්

තිතට මත තියා සවසට යාළු මිතුරු සාදයෙන්

ඡන්ද සටන ගැන දොඩවති ලාබ ලබන මග බලන්..

කැමතිම පොතකින්…

මට පැහැදිළිව දැන් ඔහු දැකිය හැක. බීමත් කපිතාන්වරයා,ඔහු වැනිම ඔහුගේ නිලධාරීන් ද, ලොකු උඩු රැවුළක් සහිත පසෙක වූ නැව් හිමියාද නරක වයින්වල ප්‍රතිඵලය නිසාදැක්වූ අශිෂ්ඨ අභිනයන්ද මට දැක ගත හැකි විය. මෘග හිනාවකින් අපේ නැව් ගමන පිලිබඳව ඔහු නැවත නැවත කියන්නට විය.  ‘මේ අහගනිල්ලා,උන් කොටියෝ,දැන් මේ වෙලාවෙ උන් බෝට්ටුවෙම ඇති, උඹට උන්ව දැක ගන්න වෙන්නෙ මුහුදෙන් පිටතදියි.’  කපිතාන්වරයා මේ අන්දමේ හෝ මීට සමාන වාක්‍ය කෑලි කියමින් සිය සගයන්ට රහස හෙළි කලේය.

ඇත්ත වශයෙන්ම මේ කිසිවක් නොදැන සිටි අප මෙයට පැයකට පමණ පෙර ටොන් ගණනක් වූ සුවඳ හමන මෙලන් අතර සම්පූර්නයෙන්ම වැසී, සුවපහසුව,තැන්පත්ව ඔහේ පාවී ආවෙමු. එවැනි විශාල ආරක්‍ෂිත ස්ථානයෙහි බෝට්ටුවට ගොඩ වී සැඟවී සිටීමට උදව් කළ අපට නරකක් කරන්නට සිටි මිනිසුන් සමඟ නාවිකයන් පිළිබඳව කතා කරමින් සිටියෙමු. අපට කෝපයෙන් කෑ ගසන හඬක් ඇසිණ. කොහෙන්දෝ මතු වූ ලොකු රැවුළක් අප වෙත බිහිසුනු අන්දමින් කඩා පනින්නට සොයනවා අප දුටිමු. හොඳින් පොතු අරින ලද මෙලන් පොතු එකක් පිටුපස එකක් ලෙස ශාන්ත මුහුදේ දිග පේළියකට පාවී ගියේය.

‘මම මිනිහව සුවඳෙන් ඈත් කරලා තිබ්බ කොල්ලනේ,ඒත් මිනිහා දැක්ක මෙලන් පොතු. මිනිහා කිව්වා හැම මල්ලකටම ගහල එකෙකුටවත් බේරිල යන්න දෙන්න එපා කියල.’

ඔහු හිටියේ තරමක් අමාරුවේ වැටීය.

      ‘උඹලට තිබුනෙ ඔච්චර මෙලන් නොකා ඉන්න’

 සැන් ඇන්ටෝනියෝවල සිට පැමිණ අප සමඟ ගමන් ගත් ගමන් සගයෙක් ඔහුගේ උසස් ජීවන දර්ශනයට අනුව යමින් අපට එක් කුඩා වාක්‍ය  කණ්ඩයක් ඉදිරිපත් කළේය.

     ‘ඔය මෝඩ වැඩේ අතැරලා උඹලගෙ බූරුවන්ගෙ පිටෙන් බැහැලා උඹලගෙ බූරු   රටටම පලයල්ල.’

අපි කළ දේ වැඩි හෝ අඩු වන්නට ඇත. අපි අපේ ගමන් මළු රැගෙන චුකියිකමාටා ප්‍රසිද්ධ තඹ පතල් බලා පිටත් වීමු.

නමුත් අපි කෙලින්ම එහි නොගියෙමු. එක් දිනක් නැවතී එයට ඇතුල් වීමට පතල් අධිකාරීන්ගෙන් අවසරයක් ලැබෙන තුරු බලා සිටින කාලය ඇතුළතදී අපට බේබදු සේලරුවන්ගෙන් වෙන්වීමේ සාදයක් ලැබිණ.

 පතල් බිම් කරා යන කටුක මාර්ගයේ ලාම්පු කණු දෙකක සෙවණේ වැතිර එක කණුවක සිට අනෙක් කණුවට විටින් විට යම් යම් දේ කෑ ගසා කියමින් දවසේ බොහෝ වේලාවක් ගත කරමින් සිටුයදී ඈත ක්‍ෂිතිජයෙන් ට්‍රක් රථයක සටහන් අප දෙසට ඇදෙමින් පැමිණෙනු දුටුවෙමු. එම කුඩා ට්‍රක් රථය අපගේ ගමනෙන් භාගයක් වන බැකියුඩානෝ නගරය වෙත අපව රැගෙන යන ලදී.

කොමියුනිස්ට්වරුන් වන විවාහක චිලී කම්කරු යුවළක් එහිදී අප සමග මිත්‍ර විය. තනි ඉටිපන්දමක් අපට ලබා දුන් එළියෙන් පාන් කෑල්ලක් සමඟ චීස් කමින් අපි එක්ව මාටේ බිව්වෙමු. මිනිසාගේ හැකිළුණු රූපය ගෙන ආවේ ගුඪ ශෝකාන්විත බවකි. පැහැදිළි චාම්

 තියුණු හඬින් ඔහු ඔහුගේ සිරගත වූ තුන් මාසය පිළිබඳව තොරතුරු විස්තර කළේය. ආදර්ශමත් භක්තිමත් බවකින් ඔහුගේ හාමත් වූ බිරිඳ ඔහු අසලම සිටි අතර දරුවන්ගේ ආරක්‍ෂාව කාරුණික අසල්වැසියෙකු වෙත ඔවුන් තබා තිබිණ. රැකියාවක් සොයා යාම ඵල රහිත වන්දනාවක් වූවා මෙන්ම ඔහුගේ සගයන් අභිරහස් ලෙස අතුරුදන්ව තිබිණ. මුහුදු පතුලේ කොතනක හෝ ඔවුන් ඇතැයි ඔහු පැවසීය.

හුදකලා වූ රාත්‍රියේ යුවළ සීතලෙන් එකිනෙකාට තුරුළුව සිටියේ ලෝකයේ ඕනෑම තැනක නිර්ධන පංතික කම් කරුවන්ගේ ස්වභාවය පෙන්නුම් කරමිනි. ඔවුන් දෙදෙනාට පොරවා ගැනීම සඳහාකසිකබල් වූ හෝ බ්ලැන්කෙට්ටුවක් නොවූයෙන් අපේ එක් බ්ලැන්කෙට්ටුවක් ඔවුනට දී ඇල්බර්ටෝත් මාත් අපට හැකි පමණින් එක බ්ලැන්කෙට්ටුවක් තුළට ගුලිවීමු. එය මගේ ජීවිතයේ සීතලම රාත්‍රිය වූ නමුත් මනුෂ්‍ය වර්ගයා පිළිබඳ සහෝදරාත්මක හැඟීම් මා ඉදිරියේ එයට වඩා වැඩි විය.

 පසුදා උදේ අටට චුකියිකමාටා නගරය වෙත අපව ගෙන යන ට්‍රක් රථයක් සොයා ගත හැකි විය. උතුරේ ගෙන්දගම් පතල් දෙසට යන ඒ යුවළගෙන් අපි සමුගතිමු. ගෙන්දගම් පතල් තිබූ කඳුකරයේ දේශගුණික තත්වය ඉතා නරක වූ අතර ජීවන තත්වයද දුෂ්කර වූ හෙයින් වැඩ බලපත්‍රයක් වුවමනා නොවූ අතර කිසිවෙකු ඔවුනගෙන් දේශපාළනය පිළිබඳ ඇසුවේද නැත. මෙහිදී උනන්දු විය යුතු එකම දෙය කම්කරුවාගේ සෞඛ්‍යය විනාශ කර ගනිමින් සොයා ගනු ලබන ස්වල්පයක් වූ කුඩා ගෙන්දගම් කැබලි යාන්තම් ජීවත්වීම සඳහා ලබා දෙන දෙය සඳහා පමණී.

ඒ යුවළ ඡායා මාත්‍රයක් සේ අපෙන් වෙන්ව නොපෙනීයන දුරකට ගියද අපට තවමත් ඒ මිනිසාගේ පුදුමාකාර අදධිෂ්ඨානශීලී මුහුණත් ඔහු කෙළින්ම අපට කළ ආරාධනාවත් සිහියට නැංවේ.

‘එන්න සහෝදරයා අපි එකටම කමු. මමත් ඉබාගාතේ යන්නෙක්.’

මේ වචන යටින් ඉරි ඇඳ අපට පෙන්නුම් කළේ පරපුටුවන් සේ අරමුණකින් තොරව අප මේ කරන සංචාරය පිළිබඳව අවඥාවයි.

මෙවැනි මිනිසුන් මැඬ පැවැත්වීම ඉතා කනගාටුදායකය. සාමූහිකත්වයෙන් ඈත්ව කොමියුනිස්ට්වාදයේ පණුවා වැදගත් ජීවිතයට තර්ජනයකි. ඔහුගේ බඩවැල් තුළ දඟලන කොමියුනිස්ට්වාදය ස්වභාවිකව උපදින ආශාවන් හැර අනෙකක් නොසිතයි. නිරන්තර බඩගින්නට එරෙහි සටන බවට පෙරළී ඇති මේ අමුතු මතයට ආදරය කරන්නට පටන් ගනී. එහි සාරය අවබෝධ කර නොගෙන එය පරිවර්තනය කරනු ලබන්නේ ‘දුප්පතුන් සඳහා පාන්’ යන්නටය. වඩා වැදගත් වන්නේ එය ඔවුන් බලාපොරොත්තුවලින් පුරවාලීමය.

එහිදී ප්‍රධානියාගේ පියකරු කාර්‍යක්ෂම උද්ද්ච්ච කළමනාකාරවරු අශෝභන ස්පාඤඤ භාෂාවෙන් අපට පැවසුවේ,”මේක සංචාරක නගරයක් නෙවෙයි. මම ඔබලාට මාර්ගෝපදේශකයෙක්ව පැය බාගයක කාළයකට දෙන්නම් යන්ත්‍ර සූත්‍ර සවිකර ඇති වට පිටාව  බලන්න. ඉන් පස්සේ අපිට කරන උදව්වක් විදිහට අපට පාඩුවෙ ඉන්න දීලා යන්න. අපට කරන්න වැඩ හුඟක් තියෙනවා.” වැඩ වර්ජනයක් වහා ආසන්නයේ විය. නමුත් යැංකි ප්‍රධානියාගේ ව්ශ්වාසවන්ත බල්ලෙකු වන මාර්ගෝපදේශකයා අපට පැවසුවේ “මේ මෝඩ තකතීරුවො හැම දවසකටම පෙසෝ දාහක් නැති කරනව වර්ජනය කරලා.ඒක හින්ද දුප්පත් කම්කරුවන්ට වැඩිපුර ගෙවන්න වෙන්නෙ නෑ. මගෙ ජෙනරල් ඉබානේස් බලයට ආවහම ඔක්කොම ඉවර වෙයි.” කවියෙකු වූ වැඩ ප්‍රධානියා පැවසුවේ”මේ හැම අඟලකින්ම හොඳම තඹ හොයා ගන්න පුළුවන් ප්‍රසිද්ධ ඉල්ලමක්. ඔබ වැනිම බොහෝ මිනිසුන් මගෙන් අහන්නෙ කාර්මික ප්‍රශ්න. ජීවිත කීයක් මේවා වටිනවද කියල අහන්නෝ විරළයි. මට ඔබට උත්තර දෙන්න බැහැ දොස්තර මහත්වරුනේ. ඒත් ඇහුවට ස්තූතියි.”

 සීතල වන නිපුණත්වය,බලයක් නැති අමනාපය විශාල පතුල පුරාඑකිනෙකාගෙන් එකිනෙකාට බැඳුණේ ජීවත්වීම සඳහා අවශ්‍ය මූලික සාමාන්‍ය දේ පවා නොසලකා හැරීම නිසා වූ බද්ධ වෛරයෙනි. එක දිනයක අපට බලාගත හැකි වන්නේ කවුරුන් හෝ පතල්කරුවෙක් සචේතනික සතුටකින් විස වැදදවුණු පෙණහළුවලින් නැගී සිටිනවා ඇත යන්නය. ඔවුන් පවසන්නේ එවැන්නක් වන්නේ ලෝකය දීප්තිමත් කරමින් පැමිණෙන රතු එළියෙන් බවය. ඔවුන් එසේ කියති. මම නොදනිමි.

 

උපුටාගැනීම : මර්ලින් සුනේත්‍රා චන්ද්‍රරත්න විසින් පරිවර්තිත අර්නස්ටෝ චේ ගුවෙරා යතුරුපැදි දිනපොත දකුනු ඇමෙරිකා චාරිකා සටහන් කෘතියෙනි.

 

කොළොම් පුරේ සිරි නරඹමු

Colombo

අන්ධ අඳුරු පැයේ
ළොව සැතපෙන රැයේ
කොළොම් පුරේ සිරි නරඹමු ගාළු පාර දිගේ..
නේක විසල් මවන විමල්
නාරි යොවුන් නෙත් අඳුළැල්..
සාද තෙපුල් වාද කළල්
සඟවාගත් මැදුරු විසල්..
කෙරෙන සියල් අමන කම්
පාට පාට ලෝකයක්..
මුළු ලෝකෙට රෑ උනාට උන් හට නම් නැහැ රැයක්..
ඈත ක්‍ෂිතිඡ ඉමේ..
හිරු හිනැහෙන උදේ
පෙරදා මහ රැයේ..
සියළු රහස් සඟවාගෙන
කිසිත් නොදත් ලෙසින්..
මහ මන්දිර බලා හිඳී අද රෑ වෙනකල්..

 

සටහනක්

Blog  ලිවිල්ලට රතු තරුව අළුත් නිසා තවම ලැබෙන ප්‍රතිචාර නම් හරිම අඩුයි.

හුඟාක් දේවල් ලියන්න තිබුනත් ඉඩක් නැති තරම් ඒකට. නිදහසේ කල් වේලා

අරගෙන කල්පනා කරලා එපැයි ලියන්න. නිසඳැස් වගේ දේවල් වලට තමා වැඩි

ඉඩක් තියෙන්නෙ.

රතු තරුව ඔය අනං මනං කුරුටු ගෑවාට ඒ බව කවුරුවත් නොදැන හිටි තරම්. දැනගෙන

හිටියෙත් නැහැ මීට කලින් Blog ගැන. ඒත් අපේ හර්ෂ ට පිං සිද්ද වෙන්න ටිකක්

‘ජනතාව අතරට’ යන්න ඕන් රතු තරුවටත් අවස්ථාවක් ලැබිලා. මේ පොඩි කාළය

තුළ ලැබුනු ප්‍රතිචාර ටික  නම් හොඳයි. හරි සතුටක් දැනෙනව හිතට ඒ ගැන.

ලියන සමහර දේවල් බොලඳ fantasy වෙන්න පුළුවන්. ඒත් මේක ප්‍රජාතන්ත්‍රවාදීව

අදහස් ප්‍රකාශ කල හැකි සහ මාධ්‍යය නිදහස උපරිමයෙන් ආරක්‍ෂාවෙන තැනක්

නිසාවෙන් ඒ ගැන හැමදෙනාම ඉවසයි කියලා හිතනව.

රතු තරුවේ කවිය කියවලා අදහසක් කියල යන්න අමතක කරන්න එපා.

කොහාට මොකද මේ උනේ…?

ඊයෙ හවස ගෙදර යද්දි කළුබෝවිල හරියෙදි  කොහෙක් කෑ ගහනවා ඇහුනා. ගමේ ගියාම ගිය සිංහළ අවුරුද්දට කොහෙක් තියා කාක්කෙක්වත් කෑ ගහනව ඇහුනෙ නැහැ. ඒක නිසා මට මෙහෙම හිතුනා…

කොහාට පාර වැරදිලා
ගමට එන්නෙ නැතුව එයා කොළඹ ගිහිල්ලා
හැඩත් හඬත් වෙනස් වෙලා
පදිංචියත් වෙනස් වෙලා
ගම එපාවෙලා කොහාට අපි එපා වෙලා

වැල්ල සිඹින රැල්ල පාගලා
දූ කෙළියට පුරුදු වෙලා
කපුටා එක්ක යාළු වෙලා
හැමදා අවුරුදු කියලා සිංදු කියනවා
කියන සිංදු අහන් ඉන්න අපට ඇඬෙනවා

සැරින් සැරේ රූප පෙට්ටියෙත් පෙන්නනවා
කැඩිච්ච ඉංගිරිස්වලින් කථා කරනවා
ටෙලිනාට්ටි චිත්තරපටිවලත් රඟනවා
ඒවා දැකලා “අනෙ අපොයි” කියල හිතෙනවා

හම්බවෙන්න එපොයින්මන්ට් ඕන කියනවා
ආයෙත් නම් ගමේ එන්න බැහැයි කියනවා
කොහා අපිට අහිමි වෙලා
අවුරුද්දත් පාළු වෙලා
හැම දෙනාම විස්සෝපෙන් බලං ඉන්නවා

කොයින්ද මේ තරම්…?

ගලන්න මේ තරම් හැඩට

ගඟට කොයින්දෝ දියවර ..?

හමන්න මේ තරම් සැඩට

කොයින්ද මේ සුළං පවර..?

වහින්න මේ තරම් බරට

අහසට දිය බිඳු කොයින්ද..?

පිපෙන්න මේ තරම් හැඩට

එක යායට මල් කොයින්ද..?

 

මවු බිම වෙනුවෙන් දන් දුන් සිය පුතු වෙනුවෙන් වැළපෙන

මවුනගෙ කඳුලිණුයි සබඳ මේ ගඟ හැදුනේ..

ජීවන අත්වැල ගිළිහී පැටව් සමග තනිවී ගිය

සෙබළ බිරියකගෙ  සුසුමිනි සුළඟ සැදෙන්නේ..

සිහිනෙන් මිස සැබෑ ළොවේ යළි කිසි දවසක නොදකින පෙම්බරයා නමින් හෙලන

පෙම්වතියන් කඳුළු අරන් වැස්ස වහින්නේ..

රණ බිම වැද අප වෙනුවෙන් දිවිදුන් හෙළ විරුවන්ගේ

ලේ දහදිය කඳුළුයි මල් වෙලා පිපෙන්නේ..

 

                                                       

ජරපත් නළඟන

තුණු සපුව දිරී

මිණි මෙවුල ලිහී

පා ගිගිරි බිඳී

නිල් නයණ ගිලී

 

පුල් වත මැළැවී

මුතු දසන් වැටී

නා දළු වියැලී

වීනාව බිඳී

 

ගමන ලැසී

පුළුකුළද නැතී

නැත වරළ රුසී

වෙද සැපත රතී

 

පෑව නෘතී වෙද පෑව හැකී

යළිදු නැතී එන ජන රාසී

සයන වැදී මරු හා සැතපී

යන කල නික්මී

කවුරුද හඬනු ඇතී